ඛුද්දක නිකාය | විමානවත්ථු
දෙවෙනි පතිබ්බතා විමානය
මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබේ දිව්‍ය විමානයේ වෛරෝඩි මාණික්‍යවලින් කරපු ලස්සන කැටයම් තියෙනවා. හරිම සිත්කළුයි. ප්‍රභාස්වරයි. ඒ විමානයට නැඟගත් ඔබ සිතූ සිතූ පරිද්දෙන් එක එක විදිහේ ඉර්ධි ප්‍රාතිහාර්යයන් දක්වනවා. ඔබව වටකරගෙන සිටින මේ දිව්‍ය අප්සරාවන් නටනවා. සිංදු කියනවා. සතුටු කරවනවා. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබ ඉර්ධිමත් කෙනෙක්. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.
මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
මං අතීත ජීවිතයේදී මනුස්ස ලෝකෙ මනුස්ස දුවක් වෙලා හිටියා. මං ඒ සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ උපාසිකාවක් වෙලා හිටියා. මං සතුන් මැරීමෙන් වැළකුනා. ලෝකයෙහි සොරකම කියන දෙය මං දුරු කළා. මං මත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. බොරු කියපු කෙනෙකුත් නොවෙයි. මං සතුටු වුනේ මගේ ස්වාමියත් එක්ක විතරයි. මං දන් පැන් පූජා කරන්නේ පහන් සිතින්මයි. පිළිවෙලකට මහා දාන මං දීලා තියෙනවා.
ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.