ඛුද්දක නිකාය | විමානවත්ථු

උපෝසථා විමානය

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගෙයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං ගැන කවුරුත් දන්නේ උපෝසථා කියලයි. මං සාකේත නුවර හිටපු උපාසිකාවක්.

මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුනා. මං සිල් රැක්කා. හැම තිස්සේම දන් දෙන්නමයි කැමති වුනේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුනේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, ගිලන්පස, තෙල්පහන් පූජා කරගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන්වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසථ සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුනා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ.

සතුන් මැරීමෙන් වැළකුනා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි.

චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම්ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුනා. ඒ නිසාමයි පැතුරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුනේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි.

මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මේ නන්දන උයන ගැන මට නිතර නිතර අහන්න ලැබුනා. ඉතින් මටත් ආශාවක් ඇතිවුනා මෙහි උපදින්න ඕන කියලා. මං තව්තිසාවෙහි සිත පිහිටුවා ගත්තු නිසයි මෙහෙ උපන්නේ.

මාගේ ශාස්තෘන් වහන්සේ හිරු ගොත් වංශයෙහි උපන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය මං අනුගමනය කළේ නෑ නෙව. මේ හීන කාමලෝකයෙහි හිත පිහිටුවා ගත්තු නිසා මං දැන් පසුතැවිලි වෙනවා.”

“පින්වත් උපෝසථා දෙව්දුව, ඔබ මේ දිව්‍ය විමානයෙහි කොච්චරකල් ඉන්නවාද? දැන් අපි අහන්නේ ඔබේ ආයුෂ ගැනයි. ඒ ගැන දන්නවා නම් කියන්න.”

“මහා මුනීන්ද්‍රයන් වහන්ස, අවුරුදු තුන්කෝටි හැටදහසක් මට ආයුෂ තියෙනවා. ඊට පස්සේ මං චුත වෙලා මිනිස් ලෝකයේ උපදිනවා.”

“පින්වත් උපෝසථා, මොනවට බය වෙනවාද? ඔබ සෝවාන් ඵලයට පත්වුණ කෙනෙක් කියල සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරලා නෙව තියෙන්නේ. ඔබේ දුගතිය ප්‍රහාණය වෙලානේ තියෙන්නේ”