ඛුද්දක නිකාය | විමානවත්ථු

උළාර විමානය

“පින්වත් දෙව්දුව, ඔබේ යසස නම් හරි උදාරයි. ඔය සොඳුරු පැහැය හැම දිශාවක්ම එළිය කරනවා. දිව්‍ය අප්සරාවන් වගේම දිව්‍ය පුත්‍රයනුත් අලංකාර දිව්‍යාභරණවලින් සැරසිලා නටනවා. සිංදු කියනවා. පින්වත් දෙව්දුව, ඔබව සතුටු කරන්නයි ඒ උදවිය ඔය පිරිවරාගෙන ඉන්නේ. ඔබේ දිව්‍ය විමානය හරිම සුන්දරයිනේ. රත්තරනින් හැදිලා තියෙන්නේ. මේ පංච කාම සැපයෙන් සමෘද්ධිමත් වෙලා හැමදේටම අධිපති වෙලා ඉන්නෙ ඔබයි. ඔබ නම් මහානුභාව ඇති උපතක් ලබාගෙනයි ඉන්නේ. පින්වත් දෙව්දුව, මේ දිව්‍ය නිකාය ගැන ඔබ ගොඩක් සතුටු වෙනවා නේද?

අපි මේ ඔබෙන් අහන්නේ මේ ලැබුනේ මොන වගේ පිනක විපාකයක්දැයි කියන්න කියලයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

“මං අතීත ජීවිතයේ මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලයි හිටියේ. මං දුස්සීල පවුලක ලේලියක් වෙලා හිටියා. ඔවුන්ට කිසිම ශ්‍රද්ධාවක් නෑ. හරිම ලෝභයි. ඒ වුනාට මා තුළ අචල ශ්‍රද්ධාවක් තිබුනා. මං සිල් රැක්කා. හැම තිස්සේම දන් දෙන්න ආසා කළා.

දවසක් මං මුඹවහන්සේ පිණ්ඩපාතේ වැඩිය වෙලාවේ කැවුමක් පූජා කළා. ඉතින් මං නැන්දාට කිව්වා. ‘ශ්‍රමණයන් වහන්සේ නමක් අද මෙහි වැඩියා නෙව. මගේ හිත පැහැදුනා. මාත් උන්වහන්සේට කැවුමක් පූජා කරගත්තේ මගේ අතින්මයි’ කියලා. එතකොට ඒ නැන්දා මට පරිභව කළා.

‘තී නම් මහා අවිනීත ස්ත්‍රියක්. මං ශ්‍රමණයෙකුට කැවුමක් දෙනවා කියලා මගෙන් අහන්න අකමැති වුනා නේද?’ කියලා. මගේ නැන්දණිය හොඳටම කිපුනා. මොහොල් ගහෙන් මට පහර දුන්නා. මගේ උරහිස් කැඩුනා. මං නැසුනා. වැඩිකල් ජීවත් වෙන්න බැරිවුනා. ඉතින් ඒ මං කය බිඳී මරණයට පත්වෙලා ඒ දුකින් නිදහස් වෙලා චුත වුනා. ඊට පස්සේ තමයි මේ තව්තිසාවේ දෙවියන් අතර උපන්නේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකයේදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.”