ඛුද්දක නිකාය | විමානවත්ථු
නාග විමානය
“පින්වත් දෙව්දුව, අහස් ගමන් ඇති උතුම් හස්තියෙකුගේ පිට නැඟලා අහසින්ම නේ ඔබ මේ ආවේ. ඇතාව සරසලා තිබෙන හැටි නම් හරි සුන්දරයි. රන් මැණික් සැරසූ රන් දැලකින් විචිත්‍රවත් කරලයි මේ ඇතාව තියෙන්නෙ. මේ ඇතාගේ දළ දෙක මත නිල්වන් ජලය තියෙන, පිපුන නෙළුම් තියෙන ලස්සන පොකුණු දෙකක් පහළ වෙලා. ඒ පිපුණු නෙළුම් මත පංචාංගික තූර්යනාද මිහිරට නාද වෙද්දි මේ මනහර දිව්‍ය අප්සරාවන් ලස්සනට නටනවා. මහානුභාව ඇති දෙව්දුව, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.”
“බරණැස් නුවරදී මං බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ගියා. වස්ත්‍ර දෙකක් පූජා කරගත්තා. ඒ සිරිපා යුග වන්දනා කරගත්තා. බිම වාඩි වුනා. මට හරි සතුටුයි. මං වැඳගෙන හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ තනි රත්තරන් පාටයි. උන්වහන්සේ මට දුක හට ගන්න හැටිත්, දුකත් මේ අනිත්‍යතාවත් වදාළා. ඒ වගේම මේ අසංඛත වූ සනාතන වූ දුක් නැති තැන වන නිවන ගැනත් වදාළා. කෙලෙස් දුරුවෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් වදාළා. මට ආයුෂ තිබුණේ ටිකයි. මං මැරුනා. ඒ ලෝකෙන් චුත වුනා. ඊට පස්සෙ තමයි මේ තව්තිසාවේ දෙවියන් අතර යසස් ඇතිව උපන්නෙ. දැන් මං සක් දෙවිඳුගේ බිරිඳක්. මගේ නම හැමතැනම පැතිරිලා තියෙන්නෙ. මම යසුත්තරා. “