පටාචාරා මහ රහත් තෙරණින් වහන්සේ

පටාචාරා සැවැත් නුවර ඉතා ධනවත් වෙළෙන්දෙකුගේ රූමත් දියණිය කි. ඇයට වයස අවුරුදු දහසය වන විට, ඇගේ දෙමාපියන් ඇයව තට්ටු හතකින් යුත් උස් මන්දිරයක ඉහළ මහලට ජීවත් වීමට සැළැස්වූ අතර, තරුණයන් සමඟ ඇසුරු කිරීම වැළැක්වීම පිණිස ඇයව ආරක්ෂකයින් විසින් පිරිවරා සිටීමට කටයුතු සාදන ලදී. මේ සියළු ආරක්ෂක විධිවිධාන නොතකා ඇය තම දෙමාපියන්ගේ නිවසේ සේවකයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයකට පැටලුණා ය.

ඇගේ දෙමාපියන් ඇයට සමාන සමාජ මට්ටමක් ඇති තරුණයෙකු සමඟ විවාහයක් සූදානම් කළ විට, ඇය තම පෙම්වතා සමඟ පැන යාමට තීරණය කළා ය. මෙහෙකාරියක ලෙස වෙස්වලාගෙන කුළුණෙන් පැන ගිය ඇයට නගරයේ දී තම පෙම්වතා මුණගැසුණු අතර, යුවළ සැවැත් නුවරින් ඈත ගමක පදිංචියට ගිය හ. එහිදී ස්වාමිපුරුෂයා කුඩා ඉඩමක ගොවිතැන් කිරීමෙන් සිය ජීවිකාව ගෙන ගිය අතර තරුණ බිරිඳට සිය දෙමාපියන්ගේ සේවකයන් විසින් කලින් කරන ලද ලොකු කුඩා වැඩ සියල්ල තනිවම කිරීමට සිදු විය. මෙසේ ඇය තමාගේම ක්‍රියාවේ විපාක වින්දා ය.

ඇය ගැබ්ගත් විට ඇය තම ස්වාමිපුරුෂයාගෙන් අයැද සිටියේ ඇයව නැවත තම දෙමාපියන්ගේ නිවසට රැගෙන යන ලෙසයි. මක්නිසාද යත්,  මව සහ පියා වශයෙන් සැමවිට ම තම දරුවා කෙරෙහි ඔවුන්ගේ හදවත් තුළ මෘදු ස්ථානයක් ඇති බවත් ඕනෑම වරදකට සමාව දිය හැකි බවත් ඇය පැවසුවා ය. කෙසේ වෙතත්, ඇගේ ස්වාමිපුරුෂයා එය ප්‍රතික්ෂේප කළේ, ඇගේ දෙමව්පියන් ඔහුව සිරභාරයට පමුණුවීමට හෝ  මරා දැමීමට පවා ඉඩ ඇති බවට බියෙනි. ඔහු තම ආයාචනයට අවනත නොවන බව ඇයට වැටහුණු විට, ඇය තනිවම මාපියන්ගේ නිවසට යාමට තීරණය කළා ය. ඉතින් එක් දිනක් ඇය ස්වාමියා කර්මාන්ත පිණිස නිවසින් බැහැර ගිය විට තනිවම සැවැත් නුවරට යන මාර්ගයට බැස්සා. සිදු වූ දේ අසල්වැසියන්ගෙන් දැනගත් ඇගේ සැමියා ඇය පසුපස ගොස් ඉක්මනින්ම ඇයව නතර කර ගත්තේ ය. ඔහු නැවත නිවසට පැමිණෙන ලෙස ඇයට ඇවිටිලි කළත්, ඇය ඔහුට ඇහුම්කන් නොදුන් අතර දිගටම ඉදිරියට යාමට බල කළ සිටියා ය. කෙසේ නමුත් ඔවුන් සැවැත් නුවරට පැමිණීමට පෙර ප්‍රසූතිය සිදු වූ අතර ඇය නීරෝගී පුතෙකු බිහි කළා ය. ඇයට තම දෙමාපියන්ගේ නිවසට යාමට තව දුරටත් හේතුවක් නොතිබූ බැවින් ඔවුන් ආපසු හැරී ආහ.

කලකට පසු පටාචාරා දෙවන වරටත් ගැබ් ගත්තා ය. නැවතත් ඇය තම ස්වාමියාගෙන් ඉල්ලා සිටියේ තම දෙමාපියන් වෙත ඇයව කැඳවාගෙනගෙන යන ලෙසයි, ඔහු නැවතත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය, නැවතත් ඇය වගකීම තමාගේ අතට ගෙන තම පුතාද වඩාගෙන පිටත් විය. ඇගේ ස්වාමියා ඇය පසුපස ගොස් ඔහු සමඟ ආපසු එන ලෙස ඇයගෙන් ආයාචනා කළ විට ඇය සවන් දීම ප්‍රතික්ෂේප කළා ය. ඔවුන් සැවැත් නුවර දෙසට අඩක් පමණ ගමන් කළ පසු, ගිගුරුම් සහ අකුණු සහිතව නොනවත්වාම වර්ෂාව ඇදහැලෙන්නට ගත්තේ ය. බියජනක කුණාටු ස්වභාවයක් ද ඇති විය. එවිටම ඇගේ ප්‍රසූතිය සිදුවන ලකුණු පහල වූයේ ය.

ඇය තම ස්වාමියාට දරු ප්‍රසූතිය පිණිස ස්ථානයක්, සෙවනක් සොයා දෙන ලෙස ඉල්ලා සිටියා ය. ස්වාමියා මඩුවක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සෙවීමට ගියේ ය. ඔහු ගසක ඉති කිහිපයක් කපද්දී තුඹසක සැඟවී සිටි විෂ ඝෝර සර්පයෙක් එළියට පැමිණ ඔහුට දෂ්ට කළේ ය. එහි විෂ උණු කළ ලාවා මෙන් වූ අතර ඔහු ක්ෂණිකව මිය ගියේ ය. පටාචාරා ඔහු එනතුරු බලා සිටි නමුත් එය නිෂ්ඵල දෙයක් විය. වැඩි වේලා නොගොස් ඇය දෙවන පුතෙකු බිහි කළා ය. රාත්‍රිය පුරාවටම කුණාටුවෙන් බියට පත් දරුවන් දෙදෙනා කෑ ගසමින් හැඬූ නමුත් ඔවුන්ගේ මවට ඔවුන්ට ලබා දිය හැකි එකම ආරක්ෂාව වූයේ ඇගේ කෙට්ටු ශරීරයෙන් ඔවුන්ව ආවරණය කරගෙන සිටීම පමණී. ඇය මුළු රාත්‍රිය පුරාම දරුවා බිහිකල වේදනාව ද, සිතල ද දරා ගනිමින් දරුවන් දෙදෙනා තමාගේ ශරීරයෙන් හැකිතරම් ආවරණය කර ගනිමින් අසීමිත දුකකින් ගත කලා ය.

උදෑසන ඇය අලුත උපන් බිළිඳා උකුල මත තබා වැඩිමහල් දරුවාට ඇඟිල්ලක් දී තම ස්වාමියා ගිය මඟට ගියේ මෙසේ කියමිනි.

“එන්න ආදරණීය දරුව, ඔබේ පියා අපව දමා ගිය සේයි.”

ඇය පාරේ වංගුව හැරෙන විට ම ඇගේ ස්වාමියා මිය ගොස් වැටී සිටිනු දැක්කා ය. ඔහුගේ සිරුර ලෑල්ලක් මෙන් දැඩි වී ගොස් තිබිනි. ඇය මොහොතක් ඔහු දෙස බලා සිටියා ය. විලාප දෙමින් ඔහුගේ මරණය ගැන තමාට ම දොස් පවරමින් හැඬුවා ය. යා හැකි අන් තැනක් දැන් නැති හෙයින් ඇය තම ගමන දිගට ම ගියාය.

මග ගෙවා පැමිණි ඔවුන් අචිරවතී නදියට පැමිණිය හ. වර්ෂාව හේතුවෙන් ගඟ පිටාර ගලමින් තිබුණී. ඉණ දක්වා උස ප්‍රචණ්ඩකාරීව ගලා යන ගංගාව දැකීමටත් බියජනක ය. දරුවන් දෙදෙනා සමග එකවර ගඟෙන් එගොඩ වීමට තරම් කායික හයියක් නොතිබුන පටාචාරා වැඩිමහල් දරුවා ගං ඉවුරේ නතරකර අලුත උපන් දරුවා පළමුව රැගෙන ගඟෙන් එගොඩ වුනා. ඉවුරේ ආරක්ෂිත යැයි හැඟුන තැනක දරුවා තබා නැවතත් වැඩිමහල් දරුවා රැගෙන ඒම පිණිස ඇය ගඟට බැස්සා. ඇය ගඟ මැද සිටින විට ගොදුරක් සොයමින් පියාඹමින් සිටි උකුස්සෙක් අලුත උපන් බිළිඳා දුටුවා. ඒ මස් කැබැල්ලක් යැයි වරදවා වටහාගත් උකුස්සා වේගයෙන් පහළට පැමිණ සිඟිත්තාව ඩැහැගෙන් වේගයෙන් පියාඹා ගියා. ගඟ මැදහුන් අසරන පටාචාරාවට කළ හැකි එකම දෙය උනේ කෑ ගැසීම පමණයි. ඇය උකුස්සාව බයට පත්කිරීමේ අදහසින් අත්පුඩි ගසමින් කෑගසන්න ගත්තා. උකුස්සා සිඟිති දරුවා අත්නොහැර පියාඹා ගියා. අහෝ නමුත් එහා ඉවුරේහුන් වැඩිමහල් දරුවා සිය මව අත්පුඩි ගසමින් තමාට කතාකරනවා යැයි සිතා ගඟට බැස්සා. එවිගසම ප්‍රචන්ඩ සැඩ පහර විසින් ඔහුව වේගයෙන් පහලට ගසාගෙන ගියා.

විලාප පිට විලාප දෙමින් පටාචාරා හඬාවැටෙන්නට වුනා. ඇයට එකම මොහොතේ දරුවන් දෙදෙනාම අහිමි වී ගියා. පෙර දින රාත්‍රියේ සිය ස්වාමියා ද අහිමිව ගියා. දරුවන් වැදූ වේදනාව සහ රාත්‍රියක් පුරා මහ වැස්සේ තෙමෙමින් සීතලෙන් වෙවුලමින් සිටි වේදනාවත් තවමත් ඇයගේ ශරිරයේ ඒ ආකාරයෙන්ම පැවතුනා, ඇය කායිකවත් මානසිකවත් අධික වෙහෙසට පත්ව බාගයක් දුරට මළ කාන්තාවක් සේ යාන්තම් සිහි එලවා ගෙන සැවැත් නුවර දෙසට ගමන් කළා.

එහෙත් තවත් අවාසනාවන්ත ඉරණමක් ඈ ඉදිරියෙහි විය. ඇය සැවැතට ළඟා වූ විට නගරයෙන් පිටතට එන මගියෙකු ඇයට හමු වූ අතර ඇය තම පවුල ගැන ඔහුගෙන් විමසුවා.

“”අනේ මගෙන් ඒ පවුල ගැන අහන්න එපා. ඒ පවුල හැර නගරයේ වෙනත් ඕනෑම පවුලක් ගැන මගෙන් විමසන්න,” ඔහු ඇයට කීවේ ය.

කෙසේ වෙතත්, ඇය දැඩි සේ ඉල්ලා සිටි බැවින් ඔහුට කතා කිරීමට සිදු විය:

“ඊයේ රාත්‍රියේ, දරුණු කුණාටුව අතරතුර, ඔවුන්ගේ නිවස කඩා වැටී වැඩිහිටි යුවළ සහ ඔවුන්ගේ පුතා යන තිදෙනාම මිය ගියා. තිදෙනාම එකට ආදාහනය කළේ මීට ටික වේලාවකට පෙරයි”

ඔහු, දුරින් පෙනෙන දුමාරයක් පෙන්වමින් මෙසේ කීවේ ය. “අර…අර දුමාරය පේනවද? ඒ තමයි ඔවුන්ගේ චිතක දැවෙනා ගින්නේ දුමාරය”

වන්ගේ ප්‍රකෘති සිහිය නැති වී ගියේ ය. ඈ සිහි විකල්ව හැඳිවත් ඉරා දමමින් කොන්ඩය කඩා දමමින් පපුවට දෑතින්ම ගසා ගනිමින් වියරුවෙන් කෑ ගසමින් චිතකයන් දැවෙනා දිශාවට දිව ගියා ය. අහෝ මෙතරම් වේදනාවක් ලත් අන්‍ය ලඳක් මිහිපිට ඇද්දෝහෝයි අපට සිතේ. දැන් ඇය පටාචාරා නම් නිරුවත් පිස්සියයි. දූවිලි වැකුණු ඇගේ කය අතිශයින්ම වැහැරී ගියේ ය, දුර්වලව ගියේ ය. ඇය වීථියක් වීථියක් පුරා මොකද්දෝ දෙයක් ගැන කියමින් කෑ ගසමින් දුවන්නී ය. මිනිසුන් සැලකුවේ ඇය නීච පිස්සියක ලෙසයි. සමහරු ඇයට ගල් ගසා එලවා දැමුවෝ ය. සමහරු ඉඳුල් වතුර විසි කළ හ. සමහරු අත්පොලසන් දෙමින් සිනහ වෙමින් ඇයට විහිළු කළහ. අහෝ සසර යන සත්වයා පත්වෙන දුකක මහත. ණුවනැත්තෝ මෙයින්ම සසරට ඇති ආශාව සන්සිඳවා ගනිත්වා. සසරින් මිදී යන්ට ම ආසා කරත්වා. සසරින් මුදවන බුදු බණ පද අසත්වා.. ඒ අනුව ම හැසිරෙත්වා….

අසරණ පටාචාරාවෝ මෙ අයුරින් කෑ ගසමින් ඉබාගාතයේ දිව ගියා ය.

“මගේ පුතාලා දෙන්නම මැරුණා. මගේ මහත්තයා පාරේ මැරුණා. මගේ අම්මයි තාත්තයි මල්ලියි එක ම චිතකයේ පුච්චනවා!”

ඇය සැවැත් නුවරින් එහි මායිම දක්වා දිව ගියා ය.

ඇය කෙමෙන් කෙමෙන් ජේතවන දොරටුව වෙත ගියා ය. ඒ වන විට අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සමූහයා විසින් පිරිවරණ ලදුව ජේතවන ආරාමයෙහි වැඩ විසූ සේක. ආරාමයට ඇතුල් වන ස්ථානයේ සිටින පටාචාරාවන් බුදු ඇසින් දැක වදාළ අපගේ ශාස්තෲන් වහන්සේ අසරණ පටාචාරාවන්ගේ අභ්‍යන්තරයෙහි වූ, අසරණ නොවූ, බලවත්ව දියුණු වී තිබූ, ධර්මාවබෝධය පිණිස විශේෂයෙන් මෝරා තිබූ මහා ප්‍රඥා ආලෝකය ද බුදු ඇසින් දැක වදාළ සේක. එනිසා ඇයව ම අරමුණු කරමින් බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස් පිරිවරා බුද්ධාසනයේ වැඩහුන් සේක.

ඇ ජේතවනය තුල පිවිසියා ය. හිමින් හිමින් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දම්සභා මණ්ඩපය දෙසට ඇවිද ගියා ය. නිරුවත්ව, දූවිලි කුණු වැකුණු ශරීරයකින් යුතුව, අවුල් වී ගැට ගැසී ගිය කෙසින් යුතු ඇයව වැඩිකල් නොගොස් දම්සභා මණ්ඩපයේ වාඩි වී සිටි මිනිසුන්ගේ ඇස ගැටුනි.

“ඔය පිස්සියට එන්න දෙන්න එපා. වහාම ඈ එලවා දමන්න” ඔවුන් කෑ ගැසූහ.

සකල ලෝක සත්වයා කෙරෙහිම පතල මහා කරුණාවෙන් යුතුව වැඩ සිටිනා අපගේ මහා කාරුණික සම්බුදු රජාණෝ ඒ මිනිසුන් අමතා මෙසේ වදාල සේක.

“නෑ ඇයව නවත්වන්න එපා. ඇයට මා වෙතට එන්න ඉඩ හරින්න”

ඈ නොසිහියෙන් නමුත් මේ යන්නේ ලෝක නාථයන් වහන්සේ ඉදිරියට බව ඇය දැන සිටියේ නැත. ඈ සම්බුදු රජාණන් වහන්සේ ඉදිරියේ නැවතුනා ය. රන් පැහැයෙන් දිලිසෙන, රශ්මි දාරා විහිදුවමින් වැඩ සිටින, බුදුරජාණන් වහන්සේ දෙස ඈ ඇසිපිය නොහෙලා බලා සිටියා ය. එවිට අතිශයින්ම සුමිහිරි මහා කාරුණික වදනින් මෙසේ කියනවා ඇයට අසුනි.

“පින්වත් දියණිය, සිහි එළවා ගන්න”

එවිටම , ඒ මොහොතෙම, ඒ ක්ෂණයෙහිම ඇයට පියවි සිහි ලැබුණි. තමා නිර්වස්ත්‍රව සිටිනා බව දැන ගත් ඈ ලජ්ජාවෙන් ඇඹරෙමින් එහිම ගුලි ගැහී වාඩි වූවා ය. එවිට යහපත් මිනිසෙක් ඇය වෙත උතුරු සළුවක් ප්‍රදානය කළේ ය. ඇය වහා එය දවටාගෙන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටී තම දුක්ඛිත කතාව මුල සිට අගටම කීවා ය.

අපගේ ශාස්තෘන් වහන්සේ ඉතාමත්ම ඉවසිලිවන්තව, ගැඹුරු වූ දයානුකම්පාවෙන් යුතුව ඇයට සවන් දී සිට, පසුව මෙසේ වදාල සේක.

“පටාචාරා, ශෝක නොකරන්න. ඔබ ඔබට සරණ විය හැකි ඔබට පිහිට විය හැකි නිවැර දි ස්ථානයටමයි මේ පැමිණියේ. ඔබට විපතට හා ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ අද පමණක් නොවේ. මේ කෙලවරක් නැති භව ගමනේ, ඔබ ආදරය කරන පුතුන් සහ වෙනත් අය අහිමි වීම ගැන හඬමින්, ඔබ සතර මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙළා තිබේ. ”

බුදුරජාණන් වහන්සේ විසින් ගෙවා ආ සසරේ දුක්ඛිත බව වදාරද්දී ඇයගේ දුක ශෝකය පහ වී ගියේ ය. ඇය සියයට සියයක්ම ප්‍රකෘති තත්වයට පත්වූවා ය. අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාල සේක.

න සන්ති පුත්තා තාණාය
න පිතා නපි බන්ධවා
අන්තකේනාධිපන්නස්ස
නත්ථි ඤාතිසු තාණතා

මාරයා විසින් යටකරගත්තු සත්වයාට ආරක්ෂා ස්ථානයක් දූදරුවන්ගෙන් ලැබෙන්නෙ නෑ. පියාගෙන් ලැබෙන්නෙත් නෑ. නෑදෑයන්ගෙන් ලැබෙන්නෙත් නෑ. ඒ ඤාතීන් තුළ ඔහුට සැබෑම රැකවරණයක් ලැබෙන්නෙ නෑ.

ඒතමත්ථවසං ඤත්වා
පණ්ඩිතෝ සීලසංවුතෝ
නිබ්බාණගමනං මග්ගං
ඛිප්පමේව විසෝධයේ

ඔය යථාර්ථය අවබෝධ කරගත් බුද්ධිමත් කෙනා සීලයෙන් සංවර වෙන්ට ඕනෙ. වහ වහාම නිවන් මග පිරිසිදු කරගන්ට ඕනෙ.

— ධම්මපදය – ගාථා 288, 289 —

ගාථා ඇසූ සැනෙන් ඇගේ සිත කෙතරම් ගැඹුරට විනිවිද ගියේද යත්, හටගත් සියළු දේ තුල ඇති කොන්දේසි රහිත අනිත්‍ය ධර්මතාවය සහ දුක් සහිත බව අවබෝධ කරගැනීමට ඇයට හැකි විය. බුදුරජාණන් වහන්සේ විසින් ඒ ගාථාවන් වදාල පසු, උන්වහන්සේගේ පාමුල වැඳ වැටෙමින් සිටියේ , විලාප නඟන උමතු කාන්තාවක් නොව, ධර්මය දන්නා, ධර්මය දුටු, ස්ථිර වශයෙන්ම අවසාන විමුක්තිය සහතික කළ පින්වන්තියකි. එනම් ඒ පටාචාරාවෝ ගාථා අවසානයේ දහම් ඇස් ලද්දී ය, සෝවාන් ඵලෙහි පිහිටියා ය. 

ඈ වහා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියා ය. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඇයව භික්‍ෂුණීන් වෙත යැවූ සේක. පටාචාරා භික්ෂුණිය ඉතා වෙහෙස මහන්සි වී ධර්මය පුරුදු කළා ය. වැඩිකල් නොගොස් ඇගේ උත්සාහය ඉක්මනින්ම ඵල දැරූ අතර ඇය තම ඉලක්කය කරා ළඟා වූවා ය. උතුම් අරහත්වයට පැමිණි සේක. පටාචාරා රහත් තෙරණියෝ තමන් වහන්සේ  සාක්ෂාත් කළ දියුණුව පිළිබඳ ථෙරීගාථා වල මෙසේ කියා සිටි සේක.

නංගලේහි කසං ඛෙත්තං බීජානි පවපං ඡමා,
පුත්තදාරානි පෝසෙන්තා ධනං වින්දන්ති මානවා

මේ මිනිස්සු නගුල්වලින් කුඹුරු හාලා, කුඹුරේ බීජ වපුරලා, අඹු දරුවන්වත් පෝෂණය කරගෙන ධනය හම්බ කරගන්නවා.

කිමහං සීලසම්පන්නා සත්ථුසාසනකාරිකා,
නිබ්බානං නාධිගච්ඡාමි අකුසීතා අනුද්ධතා

ඉතින්, සිල්වත් ජීවිතයකුත් ගෙවා ගෙන බුද්ධ ශාසනයක හැසිරෙන, කම්මැලිකමක් උඩඟුකමක් නැති මං නිවන් අවබෝධ නොකර ඉන්නෙ කොහොම ද?

පාදේ පක්ඛාලයිත්වාන උදකේසු කරෝමහං,
පාදෝදකඤ්ච දිස්වාන ථලතෝ නින්නමාගතං

මං පා සෝද ගන්ට වතුර වක්කළා. ඒ පා සෝදපු වතුර ටික උස් තැනකින් පහත් තැනකට ගලාගෙන යනවා මං දැක්කා.

තතෝ චිත්තං සමාධේසිං අස්සං භද්දං’වජානියං,
තතෝ දීපං ගහෙත්වාන විහාරං පාවිසිං අහං

ඒ ගැනත් මං හොඳට හිත එකඟ කරගත්තා. ශ්‍රේෂ්ඨ අශ්වයෙක් දමනය වුණා වගේ. ඊට පස්සෙ මං පහනත් අරගෙන කුටිය ඇතුළට ගියා.

සෙය්‍යං ඕලෝකයිත්වාන මඤ්චකම්හි උපාවිසිං,
තතෝ සූචිං ගහෙත්වාන වට්ටිං ඕකස්සයාමහං,
පදීපස්සේව නිබ්බානං විමොක්ඛෝ අහු චේතසෝති

පහන් එළියෙන් ඇඳ සොයා ගත්තා. ඇඳේ වාඩි වුණා. පහන නිවන්ට හිතාගෙන පහන් තිරේ පහළට ඇද්දා. අන්න ඒ වගේ පහනක් නිවිල යන විදිහටම මගේ හිත කෙලෙස්වලින් නිදහස් වුණා.

 

පටාචාරා තෙරණියෝ බෑවුම දිගේ ගලා බසින ජලය නිරීක්ෂණය කරන විට, සමහර දිය පහරවල් ඉක්මනින් පොළව තුළට ගිලී යන බවත්, අනෙක් ඒවා මඳක් දුරින් ගලා යන බවත්, අනෙක් ඒවා බෑවුමේ පතුල දක්වා ගලා යන බවත් දුටුවා ය. මෙය සත්වයාගේ පැවැත්මට හැම අතින්ම සමාන කාරණයක් බව ඇය වටහා ගත්තා ය:

‘සමහර සත්වයෝ ජීවත් වන්නේ ඇගේ දරුවන් මෙන් ඉතා කෙටි කාලයක් පමණි; අනෙක් අය ඇගේ ස්වාමියා මෙන් ඔවුන්ගේ වැඩිහිටි වයස දක්වා ජීවත් වෙති; තවත් සමහරු ඇගේ දෙමාපියන් මෙන් මහලු විය තෙක් ජීවත් වෙති. නමුත් අවසානයේ දී සියලු ජලධාරා පසෙහි අතුරුදහන් වීමට සිදු වූවා සේම, අවසානය සාදන්නා වන මරණය විසින් සියලු සත්වයන් ග්‍රහණයට ගන්නා අතර කිසිවෙකුට ඉන්ව්මිදී ඵලා යා නොහැක.’

පටාචාරා තෙරණියට මේ අවබෝධය පහළ වූ විට ඇගේ සිත වහා එකඟ විය. සමාධිමත් සිතින් යුතු ඇය සියළු සංස්ඛාරයන්ගේ පවතින අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ස්වභාවය මෙනෙහි කළා ය. එහෙත් තවමත්, ඇයගේ උත්සාහය කොපමණ වෙතත්, අවසාන විමුක්තිය කරා යාමට ඇයට නොහැකි විය. තෙහෙට්ටුව නිසා ඇය සැතපීමට තීරණය කළාය. ඇය තෙල් පහනක් ගෙන තම කුටියට ඇතුළු වී ඇඳ මත වාඩි වූවා ය. තෙල් පහන නිවා දැමීම පිණිස එහි තිරය ඉවතට අදිමින්මනාව එකඟ වූ සිතින් යුතුවම ඒ දෙස බලා සිටියා ය. පූර්ව පුණ්‍ය සංස්ඛාරයන් ඵල දරමින් ඈ ඒ මොහොතේ ම සකලක්ලේෂයන් මුලිනුපුටා දමමින් උතුම් අරහත්වයට පැමිණ වදාළ සේක. ලෝභ, ද්වේෂ, මෝහ යන ගිනි නිවන නම් වූ මහා සිසිල් ජලයෙන් මොනවට සෝදා හරිමින් තම අරමුණ ඈ ඉටුකර ගත්තා ය. මෙසේ පටාචාරා භික්ෂුණී තොමෝ  ‘පටාචාරා රහත් තෙරණින් වහන්සේ ‘ බවට පත් වූ සේක.

පටාචාරා රහත් තෙරණින් වහන්සේ ශාස්තෘ ශාසනය තුළ විනය පිළිබඳව විශාරද බවට පැමිණි සේක. එනිසා ම අපගේ බුදුරජාණන් වහන්සේ ; “පින්වත් මහණෙනි, මේ පින්වත් පටාචාරාවන් වනාහී විනයධර භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.” යි සිව්වනක් පිරිස් මධ්‍යයේ උන්වහන්සේ ව ඒතදග්ගයෙහිලා වදාළ සේක.

(මේ අනුව ගෞතම බුදුසසුනේ අපගේ උපාලි මහරහතන් වහන්සේ හැරුනු කොට විනය පිළිබඳ විශාරදත්වය දැරුවෝ අපගේ පටාචාරා තෙරණි තොමෝ ය )

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස ඇය ඇතිකරගත් අදිෂ්ඨානය මල් ඵල ගැනීමක් ලෙස මෙසේ අපගේ තෙරණියෝ ගෞතම බුදුරජුන් ඉදිරියේ අග්‍රස්ථානයෙන් පිදූ ලැබූ හ.

එකල කුලවත් දියණියක් වූ ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුණීන් වහන්සේ නමක් ඒතදග්ගයෙහි ලා වදාරනු දැක තමාත් අනාගත බුද්ධ ශාසනයක විනයධර භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවය ලැබීමට පැතුවා ය, බොහෝ දන් දී මහා දන් දී ඇය භාග්‍යවතුන් ඉදිරියේ මෙසේ කියා සිටියා ය.

“ඔබ වහන්සේ වැනි බුදු කෙනෙකුන් යටතේ මට විනය ප්‍රවීන භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබේවා.”

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දැක ඇයගේ අපේක්ෂාව අනාගතයේ ගෞතම සම්බුදු රජුන් දවස ඉටුවන බව වටහාගෙන ඇයට ඒ බව වදාල සේක.

පටාචාරා තෙරණියෝ විනය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම එක් අතකට ස්වාභාවික ය, මන්ද ඇයගේ ගිහි ජීවිතයේ මුල් අවදියේ දී ඇය විසින් නොසැලකිලිමත් ලෙස හැසිරීමේ කටුක අත්දැකීම් ඇයගේ ගිහි ජීවිතය පුරා ප්‍රකටව පෙනෙන්නට විය. ඇය ඒවායේ කටුක ඵල හොඳහැටි අත්වින්දා ය.

එනිසාම තෙරණියෝ බොහෝ විට තමාගේ ශිෂ්‍ය මෙහෙණන් වෙත අවවාද කළේ විනයෙහි පිහිටා ය, දහම් මග සාර්ථක කරගැනීමට ඔවුන්ව නිරන්තරයෙන් දැඩි සේ උත්සහවත් කළ හ. පටාචාරා තෙරණින් වහන්සේගෙන් අවවාද ලැබ සසර දුකින් අත්මිදී සදාතනික සැනසුම ලත් හ. නිවන අවබෝධ කළ හ.

ඊට එක් නිදසුනක් නම්, ථේරීගාථාවන්හි පද්‍යයක පටාචාරා තෙරණින් වහන්සේට සිය කෘතඥතාව පළ කරන චන්දා රහත් තෙරණින් වහන්සේ යි. එහි මෙසේ සඳහන් වෙයි.

භික්ඛුනිං පුන දිස්වාන අන්නපානස්ස ලාභිනිං,
උපසංකම්මාවෝචං පබ්බජ්ජං අනගාරියං

දවසක් හොඳට කෑම බීම ලැබෙන පටාචාරා භික්ෂුණිය දැකගන්ට ලැබුණා. ඇය කරා ගිහින් මේ පැවිදි බව ඉල්ලා හිටියා.

සා ච මං අනුකම්පාය පබ්බාජේසි පටාචාරා,
තතෝ මං ඕවදිත්වාන පරමත්ථේ නියෝජයී

ඒ පටාචාරා භික්ෂුණිය මට ගොඩක් අනුකම්පා කළා. මාව මහණ කළා. මට අවවාද කළා. මාව උතුම් අර්ථයෙහි යෙදවූවා.

තස්සාහං වචනං සුත්වා අකාසිං අනුසාසනිං,
අමෝඝෝය්‍යාය ඕවාදෝ තේවිජ්ජම්හි අනාසවාති

ඇගේ වචනය අසාගත්ත මං ඒ අනුශාසනාව කළා. ඒ භික්ෂුණිය ගේ අවවාදය හිස් දෙයක් නොවේ. දැන් මාත් ත්‍රිවිද්‍යාලාභී නිකෙලෙස් කෙනෙක්.

තවත් රහත් තෙරණින් වහන්සේ නමක් වන උත්තරා භික්ෂුණිය, පටාචාරා රහත් තෙරණින් වහන්සේ අවවාද ලබා දුන් ආකාරය ගැන ථේරි ගාථා තුළ මෙසේ සඳහන් කළ සේක.

ඝටේථ බුද්ධසාසනේ යං කත්වා නානුතප්පති,
ඛිප්පං පාදානි ධෝවිත්වා ඒකමන්තං නිසීදථ

යමක් කළාට පස්සෙ තැවෙන්නෙ නැත්නම්, අන්න ඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මනට පා සෝදගන්න. හුදෙකලා තැනකින් වාඩි වෙන්න.

චිත්තං උපට්ඨපෙත්වාන ඒකග්ගං සුසමාහිතං,
පච්චවෙක්ඛථ සංඛාරේ පරතෝ නෝ ච අත්තතෝ

හොඳින් හිත එකඟ කරගෙන, හිත පිහිටුවා ගෙන, මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නුවණින් දකින්න. ආත්ම වශයෙන් නොවේ.

තස්සාහං වචනං සුත්වා පටාචාරානුසාසනිං,
පාදේ පක්ඛාලයිත්වාන ඒකමන්තේ උපාවිසිං

එතුමියගේ වචනය හිතට ගත්තා. ඒ පටාචාරාවගේ අනුශාසනාවේ පිහිටියා. පා සෝදා ගත්ත. හුදෙකලා තැනක වාඩි වුණා.

රත්තියා පුරිමේ යාමේ පුබ්බජාතිමනුස්සරිං,
රත්තියා මජ්ඣිමේ යාමේ දිබ්බචක්ඛුං විසෝධයිං

රෑ පළමු යාමයේ පුබ්බේ නිවාස ඤාණය ලබාගත්තා. රෑ මධ්‍යම යාමයේ දිවැස් නුවණ පිරිසිදු කරගත්තා.

රත්තියා පච්ඡිමේ යාමේ තමොක්ඛන්ධං පදාලයිං,
තේවිජ්ජා අථ වුට්ඨාසිං කතා තේ අනුසාසනී

රැය පහන් වෙන කොට අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා. මං එදා උදේ නැගිට්ටේ ත්‍රිවිද්‍යාව ලබාගෙන. ඔබතුමියගේ අනුශාසනාව මං කළා.

පටාචාරා තෙරණින් වහන්සේ අනෙකුත් භික්ෂුණීන්ට උගන්වමින් සිටි ආකාරය සහ තෙරණින් වහන්සේගේ උපදේශනයෙන් ඔවුන් ලැබූ ප්‍රයෝජන පිළිබඳව ථේරීගාථා වල තවත් විස්තරයක් ඇත. මෙම ගාථාවන් පටාචාරා තෙරණින් වහන්සේ ඉදිරියේ රහත් බව ප්‍රකාශ කළ වැඩිහිටි භික්ෂුණීන් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කී ගාථා ය.

කරෝථ බුද්ධසාසනං යං කත්වා නානුතප්පති,
ඛිප්පං පාදානි ධෝවිත්වා ඒකමන්තේ නිසීදථ,
චේතෝසමථමනුයුත්තා කරෝථ බුද්ධසාසනං

යම් දෙයක් කළාට පස්සෙ තැවෙන්නෙ නැත්නම්, අන්න ඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මනට ම පා සෝද ගන්න. නිදහස් තැනක වාඩි වෙන්න. චිත්ත සමාධියක් ඇති කරගන්න. බුදු සසුන සම්පූර්ණ කරගන්න.

තස්සා තා වචනං සුත්වා පටාචාරාය සාසනං,
පාදේ පක්ඛාලයිත්වාන ඒකමන්තං උපාවිසුං,
චේතෝසමථමනුයුත්තා අකංසු බුද්ධසාසනං

පටාචාරාව තමයි ඒ භික්ෂුණීන්ට අනුශාසනා කළේ. ඒ භික්ෂුණීන් පිරිසත් ඉතා හොඳට එය අහගත්තා. පා සෝද ගත්තා. හුදෙකලා තැනක වාඩි වුණා. චිත්ත සමාධිය ඇති කරගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

රත්තියා පුරිමේ යාමේ පුබ්බජාතිං අනුස්සරුං,
රත්තියා මජ්ඣිමේ යාමේ දිබ්බචක්ඛුං විසෝධයුං,
රත්තියා පච්ඡිමේ යාමේ තමොක්ඛන්ධං පදාලයුං

රෑ පළමු යාමයේ කලින් ගත කළ ජීවිත ගැන දැනගත්තා. මධ්‍යම යාමයේ දිවැස් නුවණ පිරිසිදු කරගත්තා. පාන්දර වෙනකොට ‘අවිද්‍යාව’ නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා.

උට්ඨාය පාදේ වන්දිංසු කතා තේ අනුසාසනී,
ඉන්දංව තිදසා දේවා සංගාමේ අපරාජිතං,
පුරක්ඛත්වා විහරියාම තේවිජ්ජම්හ අනාසවාති

“අපි ඔබ තුමිය ගේ අනුශාසනාව අනුව වැඩ කරගත්තා” කියල ඒ භික්ෂුණී පිරිස පටාචාරාවගේ දෙපා වැන්දා. සුරාසුර යුද්ධෙන් ජයගත්තට පස්සෙ තව්තිසා දෙවියෝ ශක්‍රයාට සලකනවා වගේ, අපිත් ඔබතුමිය පෙරටු කරගෙන ඉන්නවා. ත්‍රිවිද්‍යාව ලබාගෙන කෙලෙස් රහිතව ඉන්නවා.

*************************

පටාචාරා, හිතුවක්කාර යොවුන් දැරියකගේ සිට මහා රහත් මුනිවරියක් බවට මෙතරම් ඉක්මනින් වෙනස් වීමට හැකි වූයේ පෙර භවවල දී ඇය ඊට අවශ්‍ය පුණ්‍ය සංස්ඛාරයන් අඩු නැතිව, අත්නොහැර රැස් කරගෙන සිටි බැවිනි. පෙර රජාණන් වහන්සේලා සමීපයේ ඇය බොහෝ වාරයක් භික්ෂුණියක් වී ඇති බව සඳහන් වේ. එමඟින් ඇය ලබා ගත් අවබෝධය පසුකාලීන ජීවිතවල ඇගේ ක්‍රියාවන්ට යටින් සැඟවී තිබුණේ, නිර්වානාවබෝධය පිණිස ප්‍රඥාව මෝරා යාමට අවශ්‍ය සියලු ගුණධර්ම ඇය තුල ඇති කරවමිනී.

අපගේ ශාස්තෘන් වහන්සේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ වෙත ඈ අවසානයේ සිහිමුලා වී හෝ පැමිණියා ය. ඒ ඇයගේ පින විසින් මෙහෙයවන ලද මාර්ගයෙන් ය. ඇය අවසාන සිරුර දරා සිටි නිසාම එතරම්ම ව්‍යසන හමුවේ ඈ නොමැරී ජීවත් වුනා ය, සිය දිවි තොරකර නොගත්තා ය, ඈ සිහි විකල් වී ගියේ ඇගේ ජීවිතය මරණයෙන් බේරාලීම පිණිසම ය. මේ සියල්ලම අරහත්වය පිණිස ඇය විසින් ඉතා දිඟු සසර ගමනක් පුරා රැස් කරගත් පුණ්‍ය සංස්ඛාරයන්ගේ ආනුභාවයම ය. ඇය ඉපදෙන මැරෙන සසරින් සදහටම නිදහස් වූවා ය. සම්බුදු හදමඩලින් උපන් දියණියක් වූවා ය. 

ඒ පටාචාරාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක,

“පින්වත් මහණෙනි, මේ පින්වත් පටාචාරාවන් වනාහී විනයධර භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”