මහා ප්‍රජාපතී ගෝතමී
මහ රහත් තෙරණින් වහන්සේ
4 - කොටස
රාජකීය ඥාතීන් මත පොකුරු වැසි ඇද හැලෙයි
බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරවරය ආසන්නයේ අහසේ, රුවන් සක්මන මත සක්මන් කරමින් බුද්ධවංශය පිළිබඳ දේශනය පවත්වමින් තම රාජකීය ඥාතීන්ගේ මාන්නය සහ උඩඟුකම දමනය කර, ශ්‍රද්ධාවේ පිහිටුවා, පනවා තිබූ බුද්ධාසනය මත වැඩ සිටි සේක.
ශාක්‍යයෝ සියලු දෙනා ඒ වන විටත් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වී සන්සුන් ව වාඩි වී සිටියහ. එවිට තඹ පාට දිව්‍යමය ‘පොකුරු වැස්ස’ ඇද හැලෙන්න පටන් ගත්තේ ය.
පොකුරු වැස්ස ඇද හැලෙන විට, තඹ වර්ණයෙන් යුත් වැසි ජල ධාරාවන් භූමිය පුරා ගලායන්නට විය. එහි වැස්සේ තෙමෙන්න කැමති අය තෙමී යත්, අකමැත්තෝ නොතෙමෙත්, එකඳු වැහි බිඳුවක් ඔවුන් මත නොවැටෙත්.
මෙම ආශ්චර්යමත් දර්ශනය දැකීමෙන් රාජකීය පවුලේ සියලුම සාමාජිකයන් පුදුමයට පත් වී මෙසේ පැවසූහ.
“ඔහ්..!, අත්පොලසන් දෙමින් සතුටු විය යුතු පුදුමාකාර දෙයක්! ඇත්තෙන්ම මෙය පෙර නොවූ විරූ දෙයක්! “
ඒවදන් ඇසූ බුදුරදුන් මෙසේ වදාළ සේක: “රාජකීය ඥාතීන්ගේ රැස්වීමට ‘පොකුරුවැස්ස’ පතිත වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඉස්සරත් මෙහෙම වැස්සක් වැටුණු අවස්ථාවක් තිබුණා.”
අනතුරුව බුදුරජාණන් වහන්සේ ගාථා දහසකින් යුක්ත වෙස්සන්තර ජාතකය ශාක්‍ය ඥාති සමාගමයේ දී වදාල සේක.
වෙස්සන්තර ජාතකය ඇසීමෙන් අනතුරුව සියලු ශාක්‍යයෝ නික්ම ගිය අතර, “හෙට අපි විසින් පූජා කරන දාන භෝජන සංග්‍රහය පිණිස වඩින සේක්වා” යනාදී වශයෙන් එක් අයෙක්වත් ආරාධනාවක් කළේ නැත. (සම්බුදු අසිරියෙන් කුල්මත් වී සිටි බැවින් ඔවුන් සියලු දෙනාට, පසුදින දානය සඳහා බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීමට අමතක විය.)
සුද්ධෝදන මහ රජතුමා මෙසේ සිතීය, “මාගේ පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේට වැඩම කිරීමට මාගේ රජ මාලිගාව හැර වෙනත් තැනක් නැත, උන් වහන්සේ මාගේ මාලිගාවට වඩිනු නියතය”. එනිසා විශේෂයෙන් ආරාධනා කිරීමට අවශ්‍යයැයි නොසිතුවේ ය.
එහෙයින් හේ ආරාධනයක් නොකර ආපසු සිය මාලිගාවට පැමිණියේ ය. මාලිගාවේ දී බත් වෑන්ජන ආදිය පිළියෙළ කිරීමටත්, බුදුරදුන් ප්‍රමුඛ විසි දහසක් රහතන් වහන්සේලාට ආසන පනවා තැබීමටත් නියෝග කළේ ය.
බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය සඳහා කපිලවත්ථුවට වඩිති
බුදුරජාණන් වහන්සේ පසුදා විසි දහසක් රහතුන් පිරිවරා රාජ වීථියේ පිණ්ඩපාතය පිණිස වඩිද්දී පාත්‍රා පිළිගැනීමට හෝ දානය පූජා කිරීමට හෝ කිසිඳු ශාක්‍යයෙක් එහි නොසිටිය හ. හේතුව, ඔවුන් එය මගහැරියා නොවේ, බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔවුන් තුළ තිබූ අසීමිත ගෞරවය නිසා ඔවුන් සැලකුවේ තමාගේ හීන භෝජනයට වඩා රාජ භෝජනයෙන් තම ශ්‍රේෂ්ඨ ඥාතියා පිදීම යහපත් කියා ය. එනිසා ඔවුන් මහ රජු පිණිස ඒ අවස්ථාව ලබා දුන්හ. මේ අතර සමහරු ඇත්තටම මේ පිණ්ඩපාතය පිණිස වඩිනා ගමනක් යැයි නොදැන සිටියහ. ඔවුන් සිතුවේ මේ තම ශ්‍රේෂ්ඨ ඥාතියා දානය පිණිස මාලිගයට වඩින ගමන් කියා ය. ඔය අතර සමහරු, පිණ්ඩපාත චාරිකාවක් ගැන හෝ දානය පූජා කිරීමක් ගැන හෝ අංශුමාත්‍රයක් දැන සිටියේ නැත. එනිසා ද ඔවුන් දාන නොපිළිගැන්වූ හ. මේ අතර, සුදොවුන් මාළිගයේ රාජකීය ඇත්තන් සිතා සිටියේ තම පුත්‍රයන් වහන්සේ නිශ්චිතවම මාලිගයට වඩිනු ඇත කියාය. එනිසා ඔවුන් මාලිගය තුල ඒ සඳහා කටයුතු සම්පාදනය කරමින් කාර්‍යබහුල වූහ.
රාජ වීථියට වැඩීමට මත්තෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක.
“පෙර සම්බුදුවරුන් තම මවු බිමට වැඩි විට තම ඥාතීන් වෙත දානය පිණිස වැඩම කළ සේක්ද? නැතහොත් දුප්පත් පොහොසත් භේදයකින් තොරව ගෙපිළිවෙලින් වැඩම කළ සේක්ද?” එවිට සියලු බුදුරජාණන් වහන්සේලා ගෙපිළිවෙලින් වැඩි බව දුටු අපගේ ශාස්තෘන් වහන්සේ විසිදහසක බික් සඟන පිරිවරා රාජ වීථිය දිගේ පිණ්ඩපාතය පිණිස වැඩි සේක.
(පහත දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ රාජකීය නගරයට වැඩම කිරීමේදී එහි වූ ආශ්චර්‍ය පිළිබඳ විස්තරයකි)
බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ රාජ වීථියට පිවිසීම පිණිස දකුණු ශ්‍රී පාදය එසවූ සේක. එවිටම රථ රෝදයක් හා විශාලා මනරම් සුවඳවත් පියුමක් පොළවෙන් නැගී ආයේ ය. බුදු සිරිපා පිළිගත්තේ පොළොව නොව ඒ මනරම් පියුමයි. මෙසේ තබනා තබනා ශ්‍රී පා, පියුම් විසින්ම පිළිගත්තේ ය. ඒ පියුම්, භාග්‍යවතුන් වහන්සේ පාදය තබා ඔසවත්ම අතුරුදන් වී යයි.
වීථිය පුරා මාර්ගයේ උස් තැන් බෙර මුහුණතක් සේ සමව යෙයි. මිටි තැන් සමව පිරී යෙයි. සියුම් පවනක් හමා ගොස් භාග්‍යවතුන් වහන්සේ වඩින්න පෙරාතුව, මාර්ගයේ ඇති සියලු කැට කැබලිති, ගල් කැබලිති ආදිය ඉවත් කරමින් මාවත සුමට කරයි. එක් පොද වැස්සක් ඇද හැලී මාවතේ දුහුවිලි දුරු කරයි. අවට වාතය සිසිල් කරවයි. තවත් එක් සුවඳැති පවනක් හමාගෙන ගොස් ලෝකයේ සියලු මිහිරි මල් සුවඳ එකම තැනකට ගොනු කලාක් මෙන් මාවත පුරා මිහිරි දිව්‍යමය සුගන්ධයක් පතුරුවා හරී.
වලාකුලක් පාවී විත් බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉහලින් සෙවන මණඩපයක් සේ පස් පැහැයෙන් දිදුලමින් සිටිත්. බුදු සිරුරින් රන්වන් රැස් කදම්බයන් දස දිශාවට විහීදී යෙත්, බුදු සිරසින් පැන නගිනා නිල්වන් රශ්මි ධාරාවෝ අකනිටා බඹලොව තෙක් විහිදී යත්. දෙවියෝ දිව්‍ය බෙර වයත්, ගයත්, නමුත් ඔවුන් කිසිවෙක් මනුෂ්‍යන් හට නොපෙනෙත්, මිහිරි දිව්‍යමය සංගීත නාදය පමණක්ම ඇසෙත්.
කපිලවස්තුවේ ඇති සියලු සංගීත භාණ්ඩ තමා විසින්ම එකම තාලයකට මිහිරට නද දෙන්න ගත්තේ ය, වැයෙන්න ගත්තේ ය.
නොපළන් ආභරණ ඒවායේ අයිතිකරු වෙත තෙමේම පැමිණ ඒ ඒ තැන පැළඳෙත්, පළන් ආභරණ දිදුලමින් නද දෙත්.
එහි අසිරිය නම් තවත් බොහෝ ය. නමුත් ඒවා පැවසීමට අප ක්‍රමය දන්නේ නැත, එතරම්ම ඒ ආශ්චර්‍ය අද්භූතය, ශෝභාවත් ය. ඇඟ ලෝම හර්ෂණය කරත්ම ය.
මේ සියලු අසිරිය මෙසේ වෙද්දී සේවිකාවක් දුවගෙන අවුත් යසෝදරා දේවියට මෙසේ කීය,
“පින්වත් උත්තමාවිය, නුඹ දුටුවද? අපේ සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වඩින අපූරුව? අහෝ! මේ නම් කුමන අසිරියක් ද? අහෝ! අපේ දෑසුත් පිංකළා නොවෑ මෙවන් අසිරියක් දකින්ට!”
එවිට සිංහ පන්ජරය විවෘත කොට එයින් එබී බැලූ යසෝදරාවෝ, තමා සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට දැකීමට පතමින්, ජීවිතය පුදමින්, දරුවන් දන්දෙමින්, පතිවතට බඹසරට දිවි දෙමින්, අචල අදිෂ්ඨානයකින්, නොබිඳුන වීරියකින්, පාරමී පුරමින් ආ ඒ පරම ඝම්භීර දර්ශනය දෑස් පුරා හදවත පුරා දැක ගත්තා ය. ශරීරය පුරා විදුලියක් කෙටුවාක් මෙන් විය. දෑස, දිව්‍යමය සුවඳ කළ දහසකින් සේදුවාක් මෙන් විය. එතුමිය මොහොතකට හිටිවනම ගල් ගැසී ගියේ ය. අරහත්වය ලබා මිස මේ භවයෙන් සමු නොගන්නා නිසා ම එතුමියගේ හදවත සන්තෝෂයෙන් පුපුරා නොගියේය. එසේ නොමැතිනම්, අසංඛෙය ගණන් සසරේ දැකීමට පතමින් ආ දේ දැන් මෙසේ දකිද්දී, ඒ සා අති දිර්ඝ සංසාරයක් ඒ වෙනුවෙන්ම කැපවෙමින් ආ එතුමියගේ හදවත ප්‍රීති වේගයෙන් පුපුරා නොයෑම සිද්ද නොවෙන දෙයක්මැයි. හේතුව, යසෝදරාව අනන්ත සසරේ පැතුවේ එකම එක දෙයයි. ඒ තම හිමි සඳු සම්බුද්ධත්වය සාක්ෂාත් කරනු දැකීමයි. ඉතින් දැන් ඒ පැතුම ඉටු වී ඇයගේ දෑස් ඉදිරියේ පෙනී යද්දී ඒ ප්‍රීති වේගය ඈ කෙසේ දරාගන්නද? ඇගේ සියුම් ළය එයට කෙසේනම් ඔරුත්තු දෙන්නද? පුපුරා යනු නියත ය. එතරම්ම ප්‍රීතියක්, සොම්නසක් ඇගේ හදවත පුරා පිරී ගියේ ය.
නමුත් මේ, එතුමිය, සසරින් නිදහස්වන ජාතියයි, තම පොරොන්දුවෙන් නිදහස් වන ජාතියයි, අමා මහ නිවනට පත්ව නිවී යන ජාතියයි. ‘මහා අභිඥාලාභී අරහත් මුනිවරිය’ වඳිමී’යී කියමින්, සාදු කාර හඬ ගුගුරුවමින්, සකල දෙව් බඹ නා මනුෂ්‍ය පිරිස් රැස් කමින්, දොහොත් මුදුන් දී ඇය පාමුල වැඳ වැටෙනා ජාතියයි. පහන් සිලක් නිවී යන්නාක් සේ උපශාන්තව නිවී යන ජාතියයි.
එනිසා එතුමියගේ ළය නොපැලුනි.
ගිම්හානයේ දවා ගිය සුදු නෙලුම් විලක්, රත්‍රන් පැන් කෙන්ඩියකින් ඉසූ දිව්‍යමය පැනින් ප්‍රකෘතිමත්ව මල් දරා ශෝභාවත්ව බැබලෙන්නාක් මෙන්, තමන් දකිනා ඒ ආශ්චර්‍යමත් මනුෂ්‍ය රත්නය ගැන ගාථා නවයකින් වර්ණනා මුඛයෙන් ගයමින් ඕ සඳළුතලයේ සිටම ස්තූති පූජාවක් කළා ය. ඒ ගාථා රත්නයන් ‘නරසීහ ගාථා’ මැයෙන් අදටත් දෙව් බඹ නා මනුෂ්‍යය පිරිස් බොහෝමත්ම බැති සිතින් සඣායනා කරත්.
නරසීහ' ගාථා
(1)
චක්කවරංකිතරත්තසුපාදෝ
ලක්ඛණමණ්ඩිතආයතපණ්හී
චාමරඡත්තවිභූසිතපාදෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
රත්පැහැයෙන් සිරිපා යුග දිලෙනා
සක් ලකුණින් දික් විළුඹින් සැදුනා
සෙමෙර ඡත්‍ර සිරියෙන් ද බැබළෙනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා
(2)
සක්‍යකුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණචිත්තිතපුණ්ණසරීරෝ
ලෝකහිතාය ගතෝ නරවීරෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
සාක්‍ය කුලයේ සියුමැලි කුමරාණෝ
සොඳුරු ලකුණු පිරි පින් සිරුරාණෝ
ලොව සෙතට ම වැඩි වීර නරාණෝ
අන්න බලන් පුත බුදු සමිඳාණෝ
(3)
පුණ්ණසසංඛනිභෝමුඛවණ්ණෝ
දේවනරාන පියෝ නරනාගෝ
මත්තගජින්දවිලාසිතගාමී
ඒස හි තුය්හ පිතා නරසීහෝ
පුන් සඳ සේ බබළන නිල් අහසේ
දෙව් මිනිසුන් නෙත් සනසන සිත් සේ
වඩින ගමන ඇත් රජුගෙ විලාසේ
නරඹනු පුත සමිඳාණන් සිත් සේ
(4)
ඛත්තියසම්භවඅග්ගකුලීනෝ
දේවමනුස්සනමස්සිතපාදෝ
සීලසමාධිපතිට්ඨිතචිත්තෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
රජ කුලයේ බුදු සමිඳු උපන්නේ
දෙව් මිනිසුන් පා යුග නමඳින්නේ
සිල් සමාධි සිත තුළ පිහිටන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ
(5)
ආයතතුංගසුසණ්ඨිතනාසෝ
ගෝපඛුමෝ අභිනීලසුනෙත්තෝ
ඉන්දධනූ අභිනීලභමූකෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
නිල්වන් පාටින් නෙත් යුග දිලෙනා
තුන්ග සුසණ්ඨිත නාසය තිබෙනා
ඇහි බැම දේදුනු යුගල විලසිනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා
(6)
වට්ටසුමට්ටසුසණ්ඨිතගීවෝ
සීහහනූ මිගරාජසරීරෝ
කඤ්චනසුච්ඡවි උත්තමවණ්ණෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
බබළන තෙද සිහ රජෙකුගෙ වැන්නේ
සියුමැලි බව මුව රජෙකුගෙ වැන්නේ
රන්වන් රැස් සිරුරින් විහිදෙන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ
(7)
සිනිද්ධ සුගම්භිරමඤ්ජුසුඝෝසෝ
හිංගුලබන්ධුසුරත්තසුජිව්හෝ
වීසති වීසති සේතසුදන්තෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
සිනිඳු සොඳුරු මිහිරෙන් හඬ නැගෙනා
හිඟුල සුරත් පැහැ දිවකින් සැදෙනා
විස්ස බැගින් සුදු දත් පෙළ දිළෙනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා
(8)
අඤ්ජනවණ්ණසුනීලසුකේසෝ
කඤ්චනපට්ටවිසුද්ධලලාටෝ
ඕසධිපණ්ඩරසුද්ධසුඋණ්ණෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
නිල් පාටින් සිරසේ කෙස් බැබළේ
රන්වන් රැස් විහිදෙනවා නලළේ
ඌර්ණ රෝම ධාතුව වත කමලේ
බුදු සමිඳුගෙ මුළු සිරුර ම බැබළේ
(9)
ගච්ඡති නීලපථේ විය චන්දෝ
තාරගණා පරිවේඨිතරූපෝ
සාවකමජ්ඣගතෝ සමණින්දෝ
ඒස හි තුය්හ පිතා නරසීහෝ
නිල් අහසේ පුන් සඳ පායන්නේ
සඳ වටකොට රන් තරු බැබළෙන්නේ
මුනි සඳ ශ්‍රාවක මැද සුදිළෙන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ
සාදු ! සාදු !! සාදු !!!
එවිගසම දේවීන් සුදොවුන් මහ රජ සොයා දිව ගියා ය. රජු හට වැඳ මෙසේ කීවා ය. “පිය රජ්ජුරුවන් වහන්ස, නුඹගේ පුත්‍රයාණෝ, මාගේ ප්‍රිය ස්වාමීහු, අපගේ සම්බුදු රජාණෝ, නුවර සිඟා යති. ආරාධනා කොට මාලිගයෙහි දී දනින් පවරන්ට නොපිළිවන් වූයේ මන්ද?”
රජතුමා ඒ වන විට සිටියේ බුද්ධප්‍රමුඛ විසි දහසක මහ සඟ රුවන විශයෙහි උදෑසන දානය පිණිස දිය නොමුසු ක්ෂීර පායාසයක් චතුමධුරෙන් පිළියල කරවමිනි. හේ ඊට විධානයන් දෙමින් සිටිද්දී ය යසෝදරාවන් පණිවුඩය ගෙනාවේ. එනිසා එය ඇසූ විගස සුදොවුන් නිරිඳු කැළඹී ගියේ ය. තමාගේ උතුරු සළුව සකස් කරමින් වහ වහා රාජ විථිය දෙසට ගමන් කළේ ය.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පා මූලයේ වැඳවැටෙමින් රජු මෙසේ කීය. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ ප්‍රිය පුත්‍රයන් වහන්ස, මේ ආකාරයේ ලජ්ජාවක් මට කුමක් නිසා කරද්ද? මේ මුලු දඹදිවම වැසියන් පැමිණියන් සියල්ල අඩුනැතිව දී සතුටු කළ හැකිව තිබෙන නුඹගේ පිය රජු, නුඹ වහන්සේ ඇතුලු විසිදහසක් සඟ පිරිසට උපස්ථාන කිරීමට අසමර්ථයැයි සිතුනා ද? අහෝ පුත්‍රය! මෙසේ සිඟා නොවැඩිය මැනව. අපට නින්දා නොකල මැනව”
බොහෝ සෙයින් පහන් වී ගිය කුරවීක නාදයක් වන්, බ්‍රහ්මස්වර විහිදුවන මිහිරි හඬින් අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.
“පින්වත් මහ රජ, මේ අපගේ වංශයේ සිරිතයි”
“ස්වාමීනී, අපගේ වංශය මහා සමමත රාජ වංශයයි, එහි රජවරු කිසි දින සිඟා වැඩි බව කවුරුනම් අසා ඇද්ද?”
“මහරජ, මහාසම්මතාදීන්ගේ වංශය ඔබේ වංශයයි. මාගේ වංශය දීපංකරාදී බුද්ධ වංශයයි. අපගේ බුද්ධ වංශයේ පිළිවෙතට අනුව මම් පිඬුසිඟා හැසිරෙමි. එහි වරදක් නැත්තේ ය.”
මෙසේ වදාල බුදුරජාණන් වහන්සේ මහමග සිටිද්දීම සුදොවුන් මහ රජ අමතා ගාථා රත්නයන් දෙකක් වදාල සේක.
උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරේ
ධම්මචාරී සුඛං සේති
අස්මිං ලෝකේ පරම්හි ච
අලසකමින් නැගී සිටින්ට ඕනෙ. අප්‍රමාදීව කටයුතු කරන්ට ඕනෙ. සුචරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෙ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව – පරලොව දෙකේම සුවසේ ඉන්නවා.
ධම්මං චරේ සුචරිතං
න නං දුච්චරිතං චරේ
ධම්මචාරී සුඛං සේති
අස්මිං ලෝකේ පරම්හි ච
සුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව, පරලොව දෙකේ ම සුවසේ ඉන්නවා.
පළමු ගාථාව ඇසීමත් සමග මහ රජු දහම් ඇස් ලබා ගත්තේය. සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. දෙවන ගාථාව ඇසීමත් සම හේ සකදාගාමී ඵලෙහි පිහිටියේ ය. ඉක්බිති ආර්‍යශ්‍රාවක වූ සුදොවුන් මහ රජ තෙමේ සම්බුදු රජුන් අතින් පාත්‍රය ගෙන මහා බික්සඟන සමග ශාස්තෘන් වහන්සේ රජගෙට වඩමවා ප්‍රණීත රාජ භෝජනයෙන් උපස්ථාන කලේ ය.
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය දන් වළඳා අවසන් කොට පාත්‍රයෙන් අත ඉවතට ගත්විට, සතලිස් දහසක් රාජ කන්‍යාවන් පැමිණ බුදුරජුන් වැඳ එකත්පස්ව වාඩි වූහ. ඒ වේලෙහි මහ රජු, සිය ලෙහෙලිය වූ යසෝදරාවන් වෙත පණිවුඩයක් යැවුවේ ය.
“මපුත, එන්න, බුදුරජාණෝ වන්දනා කරගැනීමට මේ කාලයයි. වන්දනා කොට දැන් ශෝක සිත් සන්සිඳුවාගනු මැන”.
නමුත් ඈ නොආවා ය, පණිවුඩයක් පමණක් යැවුවා ය. ඒ දැඩි බව නිසා නොවේ. එතුමිය තුළ ඒ තරමටම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශයෙහි තදින් පිහිටි විශ්වාසයක් පැවතුනි. එහෙයිනි.
“පියාණන් වහන්ස, මේ සා කාලයක් පුරාවට නුඹ වහන්සේගේ පුතනුවන් වහන්සේ උදෙසා මම් රැකි යම් විශේෂ ගුණයක් ඇත්නම්, නුඹගේ පුතනුවන් වහන්සේ මා දැකීමට මෙහි එන්නේ ය.”
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පාත්‍රය සුදොවුන් රජුට දුන් සේක, අනතුරුව තමන් වහන්සේගේ අනුජාත පුත්‍ර යුග්මය දෙස හැරී බැලූ සේක. එපමණකින් ම ඊලඟට කළයුත්තේ කුමක් දැයි මනාව වැටහෙන නුවණින් යුත් ඒ දෙපුත්‍රයන් වහන්සේ, තමන්ගේ බුද්ධ පියාණන් වහන්සේ පිටුපසින් දෙපසින් සිට ගත්හ.
මෙසේ අපගේ බුදුරජාණන් වහන්සේ, සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පසු-ශ්‍රමණයන් කොට සුදොවුන් මහ රජ තෙමේ ඉදිරියෙන් යවා, යසෝදරා දේවියගේ යහන් ගබඩාවට වැඩි සේක.
ඊට පෙරාතුව, බුදුරජාණන් වහන්සේ සුදොවුන් මහ රජු ඇතුළු ශාක්‍ය ඥාතීන් අමතා මෙසේ වදාළ සේක,
“යසෝදරාවන් මා දුටුකළ ඇයගේ ශෝක හුල සන්සිඳී යන තෙක් හඬනු ඇත. නුඹ ඊට ඉඩ දෙන්න, ඇයට සිත් සේ තථාගතයන් වහන්සේ වැඳ පුදාගන්න ඉඩ හරින්න “
බුදුරජාණන් වහන්සේ දුටු වහා යසෝදරාවෝ වියරු වී ගියා වැන්න. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට තමාගේ හද තුල රඳවා පැමිණි ස්නේහය මේ එකම මොහොතක දෝර ගලා යන්නාක් සේ, එතුමිය ශ්‍රී පතුල් මත්තෙහි ඇද වැටුනා ය, දෑතින්ම තරයේ ශ්‍රී පා වැළඳ ගත්තා ය. ශ්‍රී පා මත හිස තබා මහා හඬින් වැලපෙන්ට ගත්තා ය.
කින්නරාවක වී, සිය ස්වාමියා හට නැවත ප්‍රාණය දෙනමෙන් ලෝක පාලක දෙවියන්ගෙන් යාදිනි කරමින් ඈ ඉල්ලා හඬද්දී, මුලු වනයේම පිපී තිබූ මල් පරවී වැටුනේ ය. ගස්වල පත්‍ර මැලවී වැටුනේ ය. සීපාවන්, වන මෘගයන්…. කුහුඹුවාගේ පටන් සියලු සත්වයන් ඇයගේ විලාපය ඉවසාගත නොහී එක පැහැර හඬා වැටුනහ. ඒ හැඬුම් හඬ තව්තිසාවට අධ්පති සක් දෙවිඳුට පවා ඇසුනේ ය. එතරම්ම වේදනාවකින් එදා ඇය හැඬුවා ය.
චම්පෙය්‍ය ජාතකයේ දී නාග කන්‍යාවක වූ ඈ, සිය නාග සැමියා, අහිකුන්ඨකයා විසින් සිරකර, වධ දෙමින් ක්‍රීඩාවෙහි යොදවද්දී, සිය සැමියාණන් බේරා දෙන මෙන් ඉල්ලා හැඬු හඬ රජහුගේ පමණක් නොව අති දුෂ්ඨ සිතැති නීච අහිගුන්ඨිකයාගේ පවා හිත මොලොක් කිරීමට සමත් විය.
මහාජනක ජාතකයේ දි සීවලී බිසව වූ ඈ, රාජ්‍ය හැර වන වාසයට වඩිනා සිය හිමියාණන් පිළිබඳ ශෝක හුලෙන් පහර කන ලද්දී, එතුමන් පසුපස වැලපෙමින් යොදුන් ගණන් දුර යමින්, තවදුරටත් ඒ ශෝකය උසුලාගත නොහී ක්ලාන්තව ඇද වැටුනා ය. එදා එතුමිය සිය බෝසත් සැමියාණන් උදෙසා, ක්ලාන්තව ඇදවැටෙනා තෙක් හැඬුවා ය.
මණිචෝර ජාතකයේ දී, සිය නිර්දෝෂී සැමියාණන් දුෂ්ඨ රජුගේ අණින් මරණයට නියමවෙද්දී, ඒ අසල සිට, ළයෙහි අත් පහරමින් හඬමින් වැලපෙමින් සිය සැමියාණන් බේරා දෙන මෙන් ලෝක පාලක දෙවියන්ගෙන් ඉල්ලා සිටියා ය. ඒ හැඬුම සක් දෙවිඳුගේ සැටයොදුනක් උස පාණ්ඩුකම්බල ශෛලමය ආසනය හුණු කිරීමට තරම් සමත් විය.
ඛණ්ඩහාල ජාතකයේ දී දුෂ්ඨ බමුණකුගේ කුමන්ත්‍රණයක් නිසා මරණයට කැප වූ සිය සිවාමී වූ චන්ද්‍ර නම් රාජ කුමාර තෙමේ මරණයෙන් ගලවාදෙන මෙන් ඉල්ලා, චන්ද්‍රා නම් වූ ඈ ළයෙහි අත් ගසමින්, හිස කෙහෙ කඩා දා විසුරුවමින්, දශදිශාවන්ට පෙරලී වැඳ වැටෙමින්, උජ්ඣායනා කරමින් දැඩි සේ හඬා වැටුනා ය. සක් දෙවිඳු තමා වෙතට පමුණුවා, සිය ස්වාමියා මරණයෙන් නිදහස් කරගැනීමට තරම් එදා ඇගේ හැඬුම බලවත් එකක් විය, හද හුණුකරවන සුළු විය, ප්‍රාණය නිරුද්ධ කරවන සුළු විය.
මහා සුසීම ජාතකයේ දී, සිය යොවුන් සැමියා රජ සිරි අතහැර වන වාසයට යද්දී, මැහැළි වූ ඈ මහ හඬින් හැඬුවා ය. තමාටම දොස් පවරාගනිමින් හැඬුවා ය. සිය සැමියාට සෙත් පතමින් ඈ හැඬුවා ය.
කුස ජාතකයේ දී, කුස රජු නිසා, පබාවතිය, සියල්ලන්ගෙන්ම සැඟවී අතිශයින්ම ශෝක බරව හැඬු අයුරු ඈ හැරුනු කොට දන්නෝ, සියල්ල දන්නා සියල්ල දකිනා අපගේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණක්ම වන සේක.
මහා වෙස්සන්තර ජාතකයේ දී, සිය සැමියාණන්ගේ පාරමිතා පිරීම පරිපූර්ණත්වයට පත්කර දෙනු වස්, සියල්ල ඉවසා දරා සිටිමින් මද්දී නම් වූ ඈ මුලු වනයක් කැලඹී වෙව්ලා යන තෙක් හැඬුවා ය, රාත්‍රියේ පටන් පහන් වන තෙක් පහලොස් යොදුන් දුර, වනය පුරා ආයෙ ආයෙත් දුවමින්, සිය දරුවන් සොයමින් හඬා වැලපුනා ය. එදින වනයේ වන සතුන් පමණක් නොව වන දේවතාවෝ පවා ඇයගේ ශෝකී වැලපුම් හඬ අසා සැලී ගියහ.
මෙසේ ගෙවා ආ අසංඛ්‍ය ගණන් දීර්ඝ සසරේ යසෝදරාවන් හැඬූ කඳුලෙහි ඇති වටිනාකම ඒ අයුරින්ම හොඳින්ම දන්නා මහා කාරුණික අපගේ බුදුරජාණෝ ඇයට සිත් සේ හඬන්නට ඉඩ දුන් සේක.
ඇයගේ හැඬුම් හඬ අසා සිටි කිසිවෙකුටත් පියොවි සිහියෙන් සිටිය නොහැකි විය. අතිශය ශෝකාකූල ඇයගේ හැඬුම ඇසූ මාලිගයේ සියලු මනුෂ්‍යයෝ , වෙසන්තර ජාතකයෙහි, තමාගෙන් වෙන් වී ගිය දරුවන් නැවත තමා වෙත දිව එනු දැක, හඬා වැලපෙමින් භූතාවේශ වූ කලෙක සේ දරුවන් දෙසට දිව ගිය මද්දී බිසොවුන්ගේ ශෝකාලාපය ඇසීමෙන් කම්පනයට පත්ව, ක්ලාන්ත වී ගිය සැටදහසක් යෝධයන් සහිත මහ සෙනග සේ, මාලිගයේ සියලු මනුෂ්‍යයෝ හඬා වැටෙන්නට ගත්හ. සුද්ධෝදන රාජ මාලිගය ම ශෝකයෙන් වෙව්ලා ගියේ ය. එහි වැඩ සිටි බුදුරජුන් ප්‍රමුඛ විසිදහසක මහ සඟරුවන හැරුනුකොට ශෝකයෙන් ඇලලී නොගිය, හඬා නොවැටුනු එකඳු මනුෂ්‍යයෙක් එහි නොවී ය.
බුදුරජාණන් වහන්සේ චන්දකින්නර ජාතකය වදාරන සේක
බොහෝ වෙලාවක් හඬා වැටීමෙන් දුක මදක් තුනී වී ගියෙන් යසෝදරාවන්ට පියොවි සිහි ලැබුනි. ඇය ලැජ්ජාවෙන් මිරිකී ගොස් සම්බුදු ශ්‍රී පතුල් නැවත වාරයක් තම සිරසින් වන්දනා කොට එකත් පස්ව හිඳ ගත්තා ය.
තමන්ගේ යෙහෙළනියන් ගැන කොහොමටත් පැහැදී සිටි සුදොවුන් මහ රජ තෙමේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරමින් මෙසේ කීවේ ය.
” ස්වාමීනී, මාගේ මේ දියණිය මෙලොව අන්‍යය වූ කිසි ලඳක් හා සමාන නොවේ, මාගේ දුවනියෝ අශ්චර්‍යමත් වෙති. නුඹ වහන්සේ මාලිගයෙන් ගිය දා පටන් නුඹ වහන්සේ කුමන කුමන පිළිවෙතක් අනුගමනය කරන්නේ දැයි ඈ බොහෝ විමසිලිමත් වූවා ය. එහෙයින් නුඹ වහන්සේ කසී සළු බැහැර කළ බව දැන, කසට සිවුරු පොරෝනා බව දැන ඈ ඒ මොහොතේම සිනිඳු සළු බැහැර කලාය, රළු ගොරෝසු කසට පැහැ වස්ත්‍ර පමණක් පෙරෙව්වා ය.
ස්වාමීනී, ඔබ වහන්සේ, මැටි පාත්‍රයේ වළඳන බව දැන, එක් වේලක් පමණක් වලඳන බව දැන මේ තාක් ඈද එම පිළිවෙතේම හැසිරෙන්නී ය. රාත්‍රී බතක රසය ඈ නොදන්නී ය.
මල් ගඳ සුවඳ විලවුන් දැරීම නුඹ වහන්සේ අත්හල බව අසා ඈ යලි කිසිදින ඒවා නොදැරුවා ය. ශරීරය අලංකාර කිරීමෙහි නොයෙදුනා ය. සත්‍ය වශයෙන්ම ස්වාමීනී, ඇය මාලිගය තුල සිටමුත් වනයේ තාපස දිවියක් ගතකරන තාපසියක් සේ මේ තාක් ජීවත් වන්නී ය.
නුඹ වහන්සේ බිම සයනය කරන බව ඇසූ මොහොතේ පටන් මාලිගයේ සිනිඳු ඇතිරිලි ලූ මෘදු පලස් යෙදූ ආසන වල සුවය ඇගේ කය ස්පර්ශ නොකලේ ය.
ඔබ වහන්සේ මාලිගය අතැර ගිය බව අසා දඹදිව් තලයෙහි ඒ ඒ දේශයන්ගෙන් අපහට පණිවුඩ, ලිපි-පනත් ගලා එන්නට විය, ඒ හැම එකකම තිබුනේ එකම දෙයයි, යසෝදරාවන් පතා එවා තිබූ ඒ එකම ලිපියක්වත් ඈනම් කියෙව්වේ නොවෙයි. ඒ දෙස හැරී බලනවා තබා අන්‍ය වූ ස්වාමියෙකු පිළිබඳ ඈ අසනුවත් කැමති නොවුවා ය.
එහෙයින් ස්වාමීනී, දැන් ඈ ළය ඇනීගත් ශෝක හුලෙන් පහර කන ලදුව, දෙවියන් මිනිසුන් තබා මහ බඹුවත් ස්පර්ශ කිරීමට අවසර නොලබන ඔබ වහන්සේගේ ශ්‍රී පා කමල්, ස්ත්‍රියක්ව සිට ස්පර්ෂ කරමින්, එහි හිස තබා හඬා වැටෙමින්, කඳුලෙන් තෙමාලමින්, ඈ කළ දෙයට ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මාගේ දියණියට කමා කළ මැනව”
පන්සාලිස් වසක් පුරාවට, දෙවියෙකුට බඹෙකුට හෝ ස්පර්ෂ කිරීමට නොහුනු සම්බුදු ශ්‍රී පා සියතින් ස්පර්ෂ කරමින් වන්දනා කිරීමේ භාග්‍ය ලද්දෝ මේ ලොව ඉතා අල්පයහ. එයිනුත් ස්ත්‍රීව සිට ඒ උදාරතර භාග්‍ය ලද්දෝ අතිශයින්ම දුර්ලභය. මහා ප්‍රජාපතී දේවී තොමෝ හැරුනු කළ ඒ භාග්‍ය ලද්දෝ අපගේ යසෝදරාවෝ පමණක්ම වෙත් යැයි කීමේ වරදක් නැත.
මේ සම්බුද්ධශාසනයෙහි, අපගේ බුදුරජාණන් වහන්සේ හැරුනුකොට අන්‍ය වූ මහා පින් ඇතියෙක් වෙත් නම් ඒ යසෝදරාවන් පමණී. එහෙයින් ඊට සාක්ෂි සපයන්නාක් සේ අපගේ සම්බුදු රජාණන් වහන්සේ හැරුනු කළ මේ තුන් ලෝ තලයෙහි අග්‍රතම රූපය හිමිවූවෝ යසෝදරාවෝ වෙති. සම්බුදු රජුන් උපන් මොහොතේම මනු ලොව බිහි වූ ‘ස්ත්‍රී රත්නය’ වූ කලී ඒ යසෝදරාවෝ වෙති. එහෙයින් සම්බුදු සිරිපා ස්පර්ෂ කිරීමේ භාග්‍යය, ඇයවන් අයෙක් නොලබා අන් කවරෙක් නම් ලබත්ද!
එහෙයින් ඒ කාරණයෙනුත් යසෝදරාවන්ගේ ගුණ කඳෙහි අසිරිය ම ප්‍රකට වෙත්ම ය.
මෙ තුන් ලෝ තලයේ සියලු සත්වයන් අතරත්, අතීත අනාගත වර්ථමාන ලෝකයේ සියළු සත්වයන් අතරත් කෙළෙහි ගුණ දන්නා බවෙහි, කෙළෙහි ගුණ සලකන්නා වු බවෙහි අග්‍රේශ්වර වූ අපගේ මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ වෙනුවෙන් මේ සා මහත් දුක් අනුභව කරන්නා වූ යසෝදරා දෙවීන්ගේ ගුණ කඳ සියළු දෙව් බඹ මනුෂ්‍ය සත්වයා අතර ප්‍රකට කරන්නෙමී සිතා ඒ මොහොතේ ‘චන්දකින්නර ජාතක’ දේශනය සිදුකොට වදාල සේක.
ඒ ඇසූ යසෝදරාවන්ගේ ශෝක හුල, සුළං හමුවේ ගසාගෙන යන පරඬැලක් සේ ප්‍රීතිය විසින් ගසාගෙන ගියේ ය. මාලිගයේ සියලු දෙන යසෝදරාවන් පිළිබඳ තව තවත් ගෞරව පූර්වක සිතැඟි ඇතිව පෙරටත් වඩා ආදරයෙන් ඈ පිළිබඳ සිහිපත් කරන්නට පටන් ගත්තෝ ය.
මහා ප්‍රජාපතී ගෝතමිය සිදුහත් කුමරුගේ කිරිමවු ධූරයට පත් වෙයි
රාජකීය බුද්ධ මාතාව වන මහා මායා දේවිය සිදුහත් කුමරු බිහි කර දින දෙකකට (පමණ) පසු, මහා ප්‍රජාපති ගෝතමිය නන්ද කුමරු බිහි කළා ය. ඉන් දින පහකට (පමණ) පසු (සිදුහත් කුමරුගේ උපතින් දින සතකට පසු ) සියලු බුදුවරයන් වහන්සේලාටම පොදු ධර්මතාවයක් බැවින් මායා දේවිය කළුරිය කොට තුසිත දෙව්ලොව ‘මාතෘ දිව්‍ය රජායා’ ලෙස උපත ලැබුවා ය.
බුදු කෙනෙකුන් පිලිසිඳ ගැනීමට උරුම මවු කුස අන්‍ය වූ කිසිවෙක් මුලින් පරිහරණය කොට ඉඳුල් වන්නේ නැත, නොයිඳුල් මවු කුසේම මහ බෝධිසත්වයෝ පිළිසිඳ ගනිති. බුදු පුතෙක් දරා සිටි මවු කුස ඉන් පසු අන්‍ය වූ කිසිවෙකුගේ පරිහරණයට සුදුසු වන්නේ ද නැත. ඒ මවුකුස ශුන්‍ය වී යා යුතු ය. හේතුව, මහ බෝසතුන් වැඩ සිටි මවුකුස පාරිභෝගික ධාතුවක් සේය, ධාතු කරඬුවක් සේය. එතරම් මහානුභාවසම්පන්න මවු කුසක් අන්‍ය වූ කිසිවෙක් හට පරිහරණයට හා පරිභෝගයට කිසෙයින් නම් සුදුසු වන්ට ද? එය සුදුසු නොවේම ය.
මහ බෝසතුන් දරා සිටින මවුගේ උතුම් ශරීරය මහ බෝධිසත්වයන්ගේ පිළිසිඳ ගැනීමත් සමග පරම පවිත්‍ර ධාතු සෑයක් සේ වෙයි. කිසිඳු පුරුෂයෙකු හට කෙලෙස් සහිත සිතකින් ස්පර්ෂ කළ නොහැක්කේ වෙයි. එවන් වූ පුරුෂයෙකුගේ කෙලෙස් සහිත බැල්මෙකිඳු බෝසත් මාතාවගේ ශරීරය අපවිත්‍ර නොවන්නේ වෙයි. එනිසා, මහ බෝසතුන් බිහිකළ පසු, තුන් ලෝකයෙහි අග්‍රතම, ශ්‍රේෂ්ඨතම පුරුෂ රත්නය දරා සිටීමෙන් ස්පර්ෂය ලැබූ ඒ උත්තමාවියගේ අන්‍ය අසාධාරණ ශ්‍රී ශරීරය පූජනීය වෙයි. පුරුෂයෙකුගේ පහස් ලැබීමට නුසුදුසු වෙයි.
බෝසතුන් බිහිකර දින සතකින් බෝසත් මාතාව කලුරිය කිරීම සියලු බුදුවරයන්ටම පොදු, සියලු බෝසත් මාතවන්ටම පොදු ධර්මතාවයක් වන්නේ එහෙයිනි.
***************************************
මෙසේ දින සතක් ඇවෑමෙන් ප්‍රජාපතී ගෝතමී තොමෝ අපගේ මහ බෝසතුන්ගේ මෑණියන් බවට පත් වූවා ය. කිසිවෙකුගේ බලපෑමක් නිසා හෝ උපදේශයක් නිසා හෝ දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ තර්ජනයක් නිසා හෝ නොවේ ගෝතමී දේවිය සිදුහත් කුමරු පෝෂණය කිරීමේ පූර්ණ වගකීම රජුගෙන් ඉල්ලා සිටියේ, තමාගේ තනයේ කිරි තම ලෙයින් උපන් නන්ද කුමරුන්ට නොදී තමාගේ සොයුරියගේ පුතණුවන් වන සිදුහත් කුමරුවාණන්ට පෙව්වේ, නන්ද කුමරුවන් කිරිමවුන්ට බාර දී තම ළයේහි උණුසුම සිදුහත් කුමරුන්ට ලබා දුන්නේ, අවුරුදු 29ක් පුරාවට එකම එක පුතෙකු පමණක් ඇති ආදරණීය මවක් සේ සිදුහත් කුමරාණන් පෝෂණය කරමින් රැක බලා ගත්තේ…… ඒ එතුමිය එකී කාර්‍ය පිණිසම සසරේ දිර්ඝ කාලයක් පාරමී පුරමින් ආ නිසා ය. ‘බුදුකෙනෙකුගේ සුළු මවු තනතුර මා හට ලැබේවා’ යි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ආයාචනය කොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු මුව මඩලින් නියත විවරණ ලැබ ඒ සඳහාම පුණ්‍යධර්මයන් රැස් කරමින් ආ නිසා ය.
එහෙයින් එය නන්දයන් හට සිදු වූ අසාධාරණයක් යැයි කිසිවෙකුත් නොසිතිය යුත්තේ ය. හුදු ලාමක පෘථග්ජන සිතිවිලි ඉක්මවා යන මෙවන් කාරණා, ත්‍රිවිද රත්නය ගැන නිසැක බවට පැමිණි, ඉන්ද්‍රකීලයක් සේ සවිමත් ශ්‍රද්ධාවකට පත් ආර්‍ය ශ්‍රාවකයෙකු හට ගෝචර වන කාරණා බැවින්, අප අපගේ ලාමක සිතින් මේවා ගැන සිතන්නට නොයා එය සාදු කාර දෙමින් පිළිගැනීම පමණක් කළ යුතු ය.
නන්ද කුමරු පැවිදි වෙයි
බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නුවරට වැඩම කර තුන්වන දිනයේ දී සුද්ධෝදන රජතුමා නන්ද කුමරුට රාජ්‍යත්වය සඳහා පූර්ව චාරිත්‍ර වාරිත්‍ර විධි ඉටුකරනු වස් පංචවිධ නැකත් චාරිත්‍ර සිදු කිරීමට කටයුතු සූදානම් කළේ ය. එනම්,
(1) කේසවිසජ්ජන මංගල්‍යය – යොවුන් හිසකෙස් (සංඛේතාත්මක ලෙස) කපා, රාජ්‍යත්වය පිණිස වැඩුනු පුද්ගලයෙකු ලෙස හැඳින්වීම පිණිස කරනා විශේෂ චාරිත්‍රයකි.
(2) පට්ඨබන්ධ මංගල්‍යය – නළල්පට (යුවරජු ලෙස විශේෂයෙන් හඳුනා ගැනීමට බඳිනා විශේෂ නළල්පටක් ) පැළඳවීමේ මංගල්‍යය.
(3) ඝරප්පවේසන මංගල්‍යය – ඔටුන්න හිමි කුමරුට මාලිගාව පිරිනැමීමේ උත්සවය. (ගෙට ගෙවැදීමේ මංගල්‍යය)
(4) ආවාහ මංගල්‍යය – විවාහ මංගල්‍යය (නන්දා කුමරිය (ජනපදකල්‍යාණි) සමග)
(5) චත්තුස්සාපන මංගල්‍යය – ඔටුන්න හිමි කුමරුට රාජකීය ශ්වේත ඡත්‍රය ප්‍රදානය කිරීමේ සහ පිහිටුවීමේ උත්සවය.
එදා බුදුරජාණන් වහන්සේ රජ මාලිගාවට වැඩම කර,
තපො ච බ්‍රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියා ච
එතං මංගල මුත්තමං
“තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් කරුණු වේ.”
ආදී වශයෙන් මංගල කරුණු වදාරමින් ධර්මය දෙසූ සේක. දේශනාවසානයේ ශාස්තෘන් වහන්සේ නන්දයන් අත තමන් වහන්සේගේ පාත්‍රය තැබූ සේක. නන්ද කුමරුන් ඉමහත්ම ආදරයෙන් බුදුරජුන්ගේ පාත්‍රය දෝතින්ම ගෙන බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගියේ ය.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවාදරය නිසාම අනපේක්ෂිත ලෙස තමන් භාරයට පත් වූ පාත්‍රය ගැන ‘ස්වාමීනී පාත්‍රය ගනුමැනවී’ යි’ වචනයක් හෝ කතා කිරීමට උත්සාහ නොකර, නොසිතාම නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගියේ ය.
නමුත් හේ මාලිගයේ පඩිපෙල මතට පැමිණිවිට භාග්‍යවතුන් වහන්සේ දැන් පාත්‍රය ගනු ඇතැයි සිතුවේ ය. එහෙත් එවැන්නක් සිදු නොවුනි. නැවත පඩිපෙල බැස ගිය පසු ගනිතැයි සිතුවේ ය. නමුත් එයද සිදු නොවුනි. බුදුරජාණන් වහන්සේ කිසින් නොවදාරා නිග්‍රෝධාරාමය දෙසට වඩිනා සේක, දැන් දැන් මාලිගයේ ද්වාරයෙන් පිට වීමටත් ආසන්නය, නන්දයන් කොතරම් සිතුවත් ඒ සිතූ දේ සිදු නොවෙයි. හේ සෑම මං සන්ධියකදීම එකම විදිහට සිතුවත් තත්වය නොවෙනස්ව ඒ අයුරින්ම පැවතුනි, බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගත්තේ නැත.
එම අවස්ථාවේ දී ජනපදකල්‍යාණි කුමරියගේ උපස්ථායිකාවෝ මේ කාරණය ඇයට දන්වා සිටින්නට උත්සුක වූහ. ඔවුන් මෙසේ කීහ.
“කුමරියනි, බුදුරදුන් නන්ද කුමරුවන් රැගෙන පිටත් වුනා”
(ජනපදකල්‍යාණිය ඒ වන විට සිටියේ ඇගේ කොණ්ඩය සෝදා පීරමින්ය) අඩක් දුරට පීරා තිබූ තෙත කෙස්වැටිය ද සමග වහා දිව ගොස් ඇය සඳළු තලයෙන් එබී බැලුවා ය. එවිට බුදුරජාණන් වහන්සේ හා යන නන්ද කුමරුන් ඈ දිටී. ඇය කුමරුට ඇසෙන සේ මෙසේ කීවා ය,
“මා හිමියනි, නොරැඳ වහා එනු මැනව”
බුදුරජාණන් වහන්සේ නන්ද කුමරාගෙන් පාත්‍රය නොගෙන දිගටම ආරාමයට වැඩම කර, නන්ද කුමරුගෙන් මෙසේ ඇසූ සේක.
“නන්දය, පැවිදි වෙනවාද?”
තමාගේ ජේෂ්ඨ සොහොයුරාණන් වහන්සේ පිළිබඳ නන්දයන් තුළ පැවතියේ අතිශය ප්‍රබල ගෞරවයකි, බලවත් ආදරයකි. එහෙයින් ඔහුට තම අකමැත්ත ප්‍රකාශකිරීමේ හැකියාවක් නොතිබුණි. හේ, ‘ස්වාමීනී,එසේය’ යි පමණක් කීවේ ය.
මේ ආකාරයෙන් ගෞතම බුදුසසුනේ ‘මැනැවින් රැකගත් ඉන්ද්‍රියන් ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් භික්ෂුව’ ලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඒතදග්ගයෙහි ලා වදාරණ ලද්දා වූ, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් නමක් වූ, මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පුත්‍ර වූ, අපගේ නන්ද මහරහතන් වහන්සේගේ පැවිද්ද සිදු වූයේ ය.
සිඟිති රාහුල කුමරු පැවිදි වීම
එකල, යසෝදරා දේවීන්, සිය සත් හැවිරිදි සිඟිති රාහුල කුමරුවන් ඇකයෙහි හිඳුවාගෙන, රාජ වීථියේ, මහා භික්ෂු පිරිසක් සමග අසමසම වූ බුද්ධ ලීලාවෙන් වඩිනා බුදුරජාණන් වහන්සේ දෙස හැරී දෑත් හිස් මුදුන් තබා වන්දනා කළා ය. අනතුරුව එතුමිය සිය සිඟිති පුතණුවන් හට බුදුසමිඳුන්ගේ අසිරිමත් බුදු රුව පෙන්වමින් මෙසේ කීවා ය.
“මගේ ප්‍රිය පුත්‍රය, විසි දහසක් භික්ෂූන් වහන්සේලා පිරිවරා වැඩ සිටින, රන්වන් පැහැයෙන් යුත්, බ්‍රහ්මයකුගේ මෙන් ප්‍රසන්න ශරීරයක් ඇති, අර කරුණාබර භික්ෂුව දෙස බලන්න, ඒ ඔබගේ පියාණන් ය.
එතුමාණන් සතුව සතර මහා නිධානයක් වූයේ ය. ඒ නිධානයන් සතර; ගවු, දෙගවු, තුන්ගවු සහ සතරගවු වශයෙන් කෙලවරක් නැති ගැඹුරින් යුක්ත විය. නමුත් උන්වහන්සේගේ පැවිදිවීමත් සමග අතුරුදන් වූ ඒ මහා නිධාන මෙතෙක් කිසිවෙකු දුටුවේ නැත. එසේම නුඹට හිමි චක්‍රවර්ති රාජ්‍යත් සත් රුවනත් ඇත. එහෙයින් මපුත, යන්න, නුඹගේ පියාණන්ගෙන් දායාද ඉල්ලා සිටින්න.”
මේ වනතෙක් සිඟිති රාහුලයන් සිය මුත්තණුවන් මිස අන් කිසිවෙකුත් හැඳින සිටියේ නැත. එනිසා හේ සිය මවගේන් සුරතල් ලෙස මෙසේ ඇසුවේ ය,
“මෑණියනි, ඒ මහා පිරිස අතරින් මපියාණන් කවුරුන්ද?”
තමා බොහෝ කාලයක පටන් නිතර නිතර ගායනා කරමින් සිය හිමිසඳුට සිතින් වන්දනා කරමින්, ශෝකය තුනී කරගනිමින් සිටි……අසිරිමත් මහා පුරුෂයාණන්ගේ අසහාය රූපකාය වර්ණනාකරමින් පද බැඳි, නවයක් ගාථා රත්නයන්ගෙන් ප්‍රථිමණ්ඩිත ‘නරසීහ ගාථාවෝ’ ඇය සිය පුතු උදෙසා නැවතත් ගායනා කළා ය. බුදුඅසිරිය වර්ණනා කරමින් සිඟිති රාහුලයන් හට සිය ශ්‍රේෂ්ඨ පිය රත්නය දක්වාලී ය.
ඒ ඇසීම් මාත්‍රයෙන් සිඟිති රාහුලයාණෝ සිය පියාණන් විශයෙහි වශීකෘත වී ගියහ. තදින්ම බැඳී ගියහ. අසංඛෙය්‍ය ගණන් සසරේ මහ බෝසතුන්ගේ ප්‍රිය පුත්‍ර රත්නය වෙමින් ඉතාමත්ම කීකරුව, සෙනෙහෙබරව, අතොරක් නැතිව පැමිණි රාහුල කුමරුන් තුළ මේ ඔහුගේ අන්තිම භවයේ දී සිය පියාණන් වහන්සේ පිළිබඳ ප්‍රථම දැකුමෙන්ම ප්‍රේම සිතක් හට නොගත්තේනම්, එයමය පුදුමය.
උතුරාගිය ප්‍රීතියකින් පිනාගිය සිතින් සිඟිති රාහුලයන් වහා රජ ගෙදර පහළ මාලයට දිව ගියේ ය. හේ මදකුදු චකිතයකින් තොරව සම්බුදුරජාණන් වහන්සේගේ ළඟටම ගොස් සිරිපා යුග්මය ඉදිරියේ ගෑවී නොගෑවී සිට ගත්තේ ය. සම්බුදුරජුන්ගේ සුගත මහා චීවරයේ කොණක් සිඟිති අතෙහි පටලවා ගත්තේ ය. සම්බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලට එබී බලමින් ළඳ බොළඳ තෙපුලින් මෙසේ කීය,
“ශ්‍රමණයන් වහන්ස, නුඹ වහන්සේ මාගේ පියාණන් වහන්සේලූ. මම් නුඹ වහන්සේගේ එකම පුත්‍රයාණෝ වෙත්ලූ. ශ්‍රමණයන් වහන්ස, මට දායදය දෙනු මැනව…..ශ්‍රමණයන් වහන්ස, මට නුඹ වහන්සේගේ සෙවනේ මහා සිසිලක් දැනේ, මේ විහිදී යන රශ්මි මාලා මා හට මහා සුවයක් ගෙනෙයි.”
සුරතල් බසින් එසේ කියමින් හේ එහිම රැඳී සිටියේ ය, අඟලකුදු මෑත් නොවූයේ ය. පිය-පුත්‍ර සමාගමය අතරට රජ මාළිගයේ කිසිවෙකුත් බාධා කිරීමට නොපැමිණියේ ය. ඔව්හු ඒ දෙස තුටු කඳුළු වගුරුවමින් බලා සිටියහ. සැබෑවටම මෙය රාහුලයන්ගේ පුණ්‍ය බල මහිමයේ ආනුභාවය වන කල, ඔහුව තථාගතයන් වහන්සේ ඉදිරියෙන් මෑත් කිරීමට කවරෙක් නම් සමර්ථ වෙත් ද? එසෙයින් කිසිවෙකුත් ඉදිරියට ආයේ නැත. එහෙයින් සිඟිත්තා තව තවත් සම්බුදුරජාණන් වහන්සේ අසළ ගැවසෙමින්, සිත් සිත් සේ කාලය ගත කළේ ය.
දානය නිමවා පුණ්‍යානුමෝදනා දහම් දේශනාකොට ඉන් අනතුරුව, බුදුරජාණන් වහන්සේ මාළිගයෙන් නික්මයාමට සැරසුන සේක. ඒ බව දුටු සිඟිති රාහුල කුමරු වහා ගොස් තථාගත ශ්‍රී හස්තයේ සුලැඟිල්ලේ එල්ලුනේ ය. සිඟිති අතින් සුලැඟිල්ල අල්ලාගෙන තථාගත ශ්‍රී දේහයේ ස්පර්ශ වෙමින් ඉතා ළංව හේ බුදුසමිඳුන් සමග නිග්‍රෝධාරාමයට ගියේ ය. පියා සමග යන පුත්‍රයාව කිසිවෙක් නවතාලූයේ නැත. කුමක් නිසාද යත්, ‘එය රාහුලයන්ගේ උරුමය’ වූ නිසා ය.
“පින්වත් සාරිපුත්ත, මේ රාහුලයන්ව පැවිදි කරන්න.”
බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ ළයෙන් උපන් ජේෂ්ඨ පුත්‍ර රත්නයට, තමන් වහන්සේගේ ලෙයින් උපන් එකම පුත්‍රරත්නය බාර කළ සේක.
මෙසේ අපගේ රාහුල මහ රහත් මුනිඳුන්ගේ පැවිද්ද සිදු වූයේ ය.
සුද්ධෝදන රජු පිරිණිවන් වඩිති
මෙකී සිදුවීම් සියල්ලෙන් පසු එක්තරා දිනක බුදුරජාණන් වහන්සේ විසිදහසක් රහතුන් පිරිවරා රජ මාලිගාවට දානය පිණිස වැඩම කළ සේක. සුද්ධෝදන රජතුමා, ප්‍රධාන දාන වේලට පෙර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට කැඳ සහ මිහිරි කැවිලිවලින් සංග්‍රහ කළේ ය. අතරමැදි කාලය තුළ රජු තමාගේ පෙර අත්දැකීමක් පිළිබඳ විස්තරයක් බොහොමත්ම උද්යෝගයෙන් බුදුරජාණන් වහන්සේට හෙළිකර සිටියේ ය.
“ස්වාමීනී, ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියාවන්හි යෙදී සිටින විට, යම් යම් දෙවිවරු අහසේ පෙනී සිටිමින් මට මෙසේ කීවා: “ ඔබේ පුත්‍රයා වන සිදුහත් කුමරු ප්‍රමාණවත් ආහාර නොමැතිව මිය ගියේ ය”
එවිට බුදුරජාණන් වහන්සේ රජුගෙන් මෙසේ විමසා සිටි සේක; “රජතුමණි, එවිට ඔබ දේවතාවන්ගේ වචන විශ්වාස කළාද?”
“නැත නැත… මා ඒ කියුම් කිසිසේත් විශ්වාස නොකළෙමි. ‘මහබෝධි වෘක්ෂය යට පිහිටි ඒ ප්‍රසන්න සෙවණේදී සර්වඥතා ඤාණය ලබා මිස මාගේ පුත්‍රයා කළුරිය නොකරන බව මා ඔවුන්ට කීවා”
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක:
පින්වත් මහරජ, මේ මා මියගිය බව ඔබ විශ්වාස නොකළ පලමු ජීවිතය නොවේ. පෙරත් නුඹ මා මියගිය බව විශ්වාස නොකල විරූය”
එවිට සුද්ධෝදන මහ රජ තෙමේ ඒ අතීත විස්තරය වදාරන මෙන් බුදුරජුන්ට ආරාධනා කර සිටියේ ය. ඒ අවස්ථාවේ දී, කාලයේ වැලි තලාවෙන් වැසී තිබූ, මහා ධර්මපාලයන් පිළිබඳ ‘මහා ධම්මපාල ජාතක’ දේශනාව සියලු දෙව් බඹ මනුෂ්‍යයන් ගේ සවන් පත් මත දිග හැරෙන්නට විය.
අතීත කථා විස්තරය ඇසීමෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් වූ සිතින් යුත් සුද්ධෝදන මහරජ තෙමේ දේශනය අවසානයේ දී යලි කිසිදා කාම ලෝකයේ උපතක් කරා නොඑන උතුම් අනාගාමී ඵලයෙහි පිහිටියේ ය.
ඉන් මෑත භාගයේදී (වසර හතරකට පමණ පසු), රෝගාතුරව දළපුඩු සේසත් යට සයනගතව සිටි සුදොවුන් මහ රජ තෙමේ ශාස්තෘන් වහන්සේ විසින් වදාරන ලද චතුසත්‍ය ධර්මය අසා අරහත්වය සාක්ෂාත් කොට එහිම එදිනම පිරිනිවන් පා වදාල සේක.
ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරජුන්ට චීවරයක් පූජා කරයි
මීට වසර හතරකට පමණ පෙර, බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩිය මොහොතේ ඒ සම්බුදු සිරුරේ අතිශය චමත්කාර ශෝභාව දුටු මොහොතේ පටන් ප්‍රජාපතී ගෝතමී දේවියගේ සිත සම්බුදු රුව පිළිබඳ සිතිවිලිවලින් ඔබ්බට නොගියේ ය. එතුමිය නැවත නැවතත් සිය ප්‍රාණසම පුත්‍ර රත්නය ගැනම සිතමින් කල් ගත කළා ය. වරෙක ඇයට මේ ආකාරයේ සිතුවිල්ලක් ඇතිවූයේ ය.
“මාගේ පුත්‍ර රත්නය අතිශයින්ම ශෝභාවත් ය. සත් දිනක් වියැති ළදරුවියේ පටන් ඔහුගේ සියලු කාර්‍යන් සිදු වුනේ මං අතිනි. ඒ මා විසින් කිරි දී ළයෙහි හොවා වැඩූ මාගේ සිඟිති පුතු දැන් තුන් ලොව දෙවියන් බ්‍රහ්මයන් මනුෂ්‍යන් දොහොත් මුදුන් දී වන්දනා කරන, සියලු සත්වයන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. මා විසින් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ උදෙසා විශේෂ පූජාවක් කළ යුතු ය. මම් මාගේ බුදුරජාණන් වහන්සේ උදෙසා චීවරයක් කරවිය යුතුය. එයත් මා අතින්ම කළ යුතුය.”
මෙසේ සිතූ ගෝතමී දේවිය පසු දිනම, කපු ගොවීන් මාලිගයට කැඳවූහ. ඔවුන්ගෙන් තමාට දොස් රහිත හොඳම වර්ගයේ පිරිසිදු කපු පුළුන් වහා අවශ්‍යබව දන්වා සිටියා ය. ඒ අනුව පසුදිනම රාජ මාලිගයට සුපරිශුද්ධ හොඳම වර්ගයේ කපු පුළුන් අවශ්‍ය තරමටත් වැඩියෙන් ලැබුනි. ඒ කපු පුළුන් වලින් ඇය විසින්ම නූල් කටින ලදී, නූල් මනා කොට පිරිසිදු කර සුවඳ පැනින් දොවා සුවඳ කවන ලදී. ඇය විසින්ම ඒ නූල් වලින් පිළියක් (රෙද්දක්) වියන ලදී. ඒ සුවඳවත් රෙදි කඩ පඬු පොවා මනාව පිරිසිදුකර නැවතත් සුවඳ කවා එයින් චීවරයක් සකසන ලදී. මේ සියල්ල ගොතමී දේවිය තමන්ගේම දෑතින් කළා ය. චීවරය සුවඳ කරඬුවක තැන්පත් කර බුදුරජාණන් වහන්සේට පූජා කරගැනීමට අවස්ථාවක් ලැබෙන තෙන් එතුමිය නොඉවසිල්ලෙන් බලා සිටියා ය.
නැවත අවුරුදු කීපයක් ඇවෑමෙන් පිය රජුට අනුග්‍රහ පිණිස සම්බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩිය ගමනේ දී එතුමියට ඒ සඳහා ඉඩ හසර උදා වුනි.
ප්‍රිතියෙන්, චීවරය සහිත රන් කරඬුව දෑතින්ම අල්ලාගෙන හිස මත තබාගෙන පැමිණ එය බුදුරජාණන් වහන්සේ වෙත දිඟුකරගෙන මෙසේ කීවා ය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ ප්‍රිය පුත්‍රයන් වහන්ස, මා මාගේ උත්සහයෙන්මයි මෙය කළේ, මාගේ දෑතින්මයි මෙය කළේ, නුඹ වහන්සේ උදෙසාමයි මෙය කළේ, මා ගැන අනුකම්පාවෙන් මා විසින් ඉතාමත්ම සැදැහැයෙන් සකස් කළ මේ චීවරය පිළිගන්නා සේක්වා”
එවිට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා සේක.
“පින්වත් ගෞතමිය, ඔය චීවරය සංඝයාට පූජා කරන්න”
නමුත් ගෞතමී දේවිය නැවත වාරයක් චීවර බුදුරජාණන් වහන්සේටම පූජාකරමින් එය පිළිගන්න ලෙස ඉල්ල සිටියා ය. දෙවන වරටත් බුදුරජාණන් වහන්සේ එය සංඝයාට පූජා කරන ලෙස වදාල සේක. නැවත තෙවන වර ද එසේම සිදු විය.
මෙම සිද්ධිය මේ ආකාරයෙන් සිදුවීමට හේතුව ‘දක්ඛිණා විභංග සූත්‍රයේ’ දී බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් වදාල සේක. ඒ මෙසේ යි
දක්ඛිණා විභංග සූත්‍රය
දන්දීම පිළිබඳ විග්‍රහ කොට වදාළ දෙසුම
මජ්ඣිම නිකාය | උපරි පණ්ණාසකය | විභංග වර්ගය
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයෙහිය. එදා මහාප්‍රජාපතී ගෞතමී දේවිය අලුත් වස්ත්‍ර යුගලක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් මහාප්‍රජාපතී ගෞතමී දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල තමන්ගේ අතින්ම නූල් කැට, තමන්ගේ අතින් ම වියා මා විසින් පිළියෙල කළේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම යි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා උපදවාගෙන පිළිගන්නා සේක්වා!”
මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා.
“පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.”
දෙවෙනි වතාවෙදිත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල ….(පෙ)…. පිළිගන්නා සේක්වා!”
දෙවෙනි වතාවේදීත් භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා.
“පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.”
තුන්වෙනි වතාවෙදිත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගල ….(පෙ)…. පිළිගන්නා සේක්වා!”
තුන්වෙනි වතාවේදීත් භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමී දේවියට මෙය පවසා වදාළා.
“පින්වත් ගෞතමිය, සංඝයාට පූජා කරන්න. ඔබ විසින් සංඝයා උදෙසා දුන් විට මටත් පිදුවා වෙනවා. සංඝයාටත් පිදුවා වෙනවා.”
එසේ වදාළ විට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෝතමියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා! ස්වාමීනී, මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරී වුනා. කිරි අම්මා වුනා. අත් පා වැඩුවා. පෝෂණය කළා. කිරි පෙව්වා. වැදූ මව කළුරිය කළ වේලෙහි පටන් භාග්‍යවතුන් වහන්සේට කිරි පෙව්වා.ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාරී වූ සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි නිසයි මහාප්‍රජාපතී ගෞතමිය බුදුන් සරණ ගියේ. ධර්මය සරණ ගියේ. සංඝයා සරණ ගියේ. ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි නිසයි මහාප්‍රජාපතී ගෞතමිය සතුන් මැරීමෙන් වැළකුනේ. සොරකමින් වැළකුනේ. වැරදි කාම සේවනයෙන් වැළකුනේ. බොරු කීමෙන් වැළකුනේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුනේ.ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලයි මහාප්‍රජාපතී ගෞතමිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වුනේ. ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වුනේ.ඒ වගේම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලයි මහාප්‍රජාපතී ගෞතමිය දුක්ඛාර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව සැක රහිත වුනේ.ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේත් ඔය අයුරින් මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාරී වුන සේක.”
“පින්වත් ආනන්දය, ඒක එහෙමම යි. පින්වත් ආනන්දය, ඒක එහෙමම යි. යම් පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.
ඒ වගේම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ සතුන් මැරීමෙන් වළකිනවා නම්, සොරකමින් වළකිනවා නම්, වැරදි කාම සේවනයෙන් වළකිනවා නම්, බොරු කීමෙන් වළකිනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.
ඒ වගේම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු වෙනවා නම්, ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.
ඒ වගේ ම පින්වත් ආනන්ද, යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කරා පැමිණ දුක්ඛ ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය කෙරෙහි නිසැක වෙනවා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකා අවසන් කරන්නට බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර දීම ආදියෙන්.
පින්වත් ආනන්ද, වෙන වෙනම පෞද්ගලිකව දිය හැකි දාන දාහතරක් තියෙනවා. කවර දාහතරක්ද යත්; තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය පළමුවන පෞද්ගලික දානයයි. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය දෙවන පෞද්ගලික දානයයි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ උදෙසා දන්දෙනවා. මෙය තුන් වෙනි පෞද්ගලික දානයයි. අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දන්දෙනවා. මෙය සතරවෙනි පෞද්ගලික දානයයි. අනාගාමී ශ්‍රාවකයා උදෙසා දන්දෙනවා. මෙය පස්වන පෞද්ගලික දානයයි. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දන්දෙනවා. මෙය හයවෙනි පෞද්ගලික දානයයි. සකදාගාමී ශ්‍රාවකයා උදෙසා දන්දෙනවා. මෙය හත්වෙනි පෞද්ගලික දානයයි. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දන්දෙනවා. මෙය අටවෙනි පෞද්ගලික දානයයි. සෝතාපන්න ශ්‍රාවකයා උදෙසා දන්දෙනවා. මෙය නවවෙනි පෞද්ගලික දානයයි. සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දන්දෙනවා. මෙය දසවෙනි පෞද්ගලික දානයයි. ශාසනයෙන් බැහැරව සිටින කාමයන් කෙරෙහි වීතරාගී වූ කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය එකොළොස්වෙනි පෞද්ගලික දානයයි. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය දොළොස්වෙනි පෞද්ගලික දානයයි. පෘථග්ජන දුස්සීල කෙනෙක් උදෙසා දන්දෙනවා. මෙය දහතුන්වෙනි පෞද්ගලික දානයයි. තිරිසන්ගත සතෙක් උදෙසා දන්දෙනවා. මෙය දාහතරවෙනි පෞද්ගලික දානයයි.
පින්වත් ආනන්ද, එහිලා තිරිසන්ගත සතෙකුට දානයක් දීලා සියගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. පෘථග්ජන දුස්සීල කෙනෙකුට දානයක් දීලා දහස්ගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. පෘථග්ජන සීලවන්තයෙකුට දානයක් දීලා ලක්ෂගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. බුදුසසුනෙන් බැහැර වූ කාමයන්හි වීතරාගී කෙනෙකුට දානයක් දීලා කෝටි ලක්ෂ ගුණයක දානානිසංසයක් කැමැති විය යුතුයි. සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දානයක් දීලා ගණන් කළ නොහැකි, ප්‍රමාණ රහිත දානානිසංසයක් කැමැති විය යුතුයි. සෝතාපන්න කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? සකදාගාමී කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අනාගාමී කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙක් කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි දුන් දානය ගැන කවර කතාද?
පින්වත් ආනන්ද, සංඝගත දක්ෂිණා හතක් තියෙනවා. කවර සතක්ද යත්; බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දන්දෙනවා. මෙය පළමුවෙනි සංඝගත දක්ෂිණාවයි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දන්දෙනවා. මෙය දෙවෙනි සංඝගත දක්ෂිණාවයි. භික්ෂු සංඝයා උදෙසා දන්දෙනවා. මෙය තුන්වෙනි සංඝගත දක්ෂිණාවයි. භික්ෂුණී සංඝයා උදෙසා දන්දෙනවා. මෙය සතරවෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලාත්, මෙපමණ භික්ෂුණීන් වහන්සේලාත් වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය පස්වෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂූන් වහන්සේලා වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය සයවෙනි සංඝගත දක්ෂිණාවයි. ‘මට සංඝයා උදෙසා මෙපමණ භික්ෂුණීන් වහන්සේලා වඩම්මවාදෙන්න’ කියල දන්දෙනවා. මෙය සත්වෙනි සංඝගත දක්ෂිණාවයි. මේ තමයි සංඝගත දක්ෂිණා හත.
පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ.
පින්වත් ආනන්ද, දානය පිරිසිදු භාවයට පත්වෙන ආකාර හතරක් තියෙනවා. කවර සතරක්ද යත්; පින්වත් ආනන්දය, දානයක් තියෙනවා, ඒ දානය පිරිසිදු වන්නේ දායකයාගෙනුයි. ප්‍රතිග්‍රාහකයාගෙන් නොවෙයි. පින්වත් ආනන්ද, තව දානයක් තියෙනවා. ඒ දානය පිරිසිදු වන්නේ ප්‍රතිග්‍රාහකයාගෙනුයි. දායකයාගෙන් නොවෙයි. තව දානයක් තියෙනවා. ඒ දානය දායකයාගෙන් පිරිසිදු වෙන්නෙත් නෑ. ප්‍රතිග්‍රාහකයාගෙන් පිරිසිදු වෙන්නෙත් නෑ. පින්වත් ආනන්ද, තවත් දානයක් තියෙනවා. ඒ දානය දායකයාගෙනුත් පිරිසිදු වෙනවා. ප්‍රතිග්‍රාහකයාගෙනුත් පිරිසිදු වෙනවා.
පින්වත් ආනන්ද, දායකයාගෙන් පිරිසිදුවෙන, ප්‍රතිග්‍රාහකයාගෙන් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා සිල්වත් කෙනෙක්. යහපත් ගුණධර්ම ඇති කෙනෙක්. නමුත් ප්‍රතිග්‍රාහකයෝ දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙනුයි දානය පිරිසිදු වන්නේ. ප්‍රතිග්‍රාහකයාගෙන් නොවෙයි.
පින්වත් ආනන්ද, ප්‍රතිග්‍රාහකයාගෙන් පිරිසිදුවෙන, දායකයාගෙන් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. නමුත් ප්‍රතිග්‍රාහකයෝ සීලවන්තයි. උතුම් ගුණධර්මයන්ගෙන් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, ප්‍රතිග්‍රාහකයාගෙනුයි දානය පිරිසිදු වන්නේ. දායකයාගෙන් නොවෙයි.
පින්වත් ආනන්ද, දායකයාගෙනුත් පිරිසිදු නොවෙන, ප්‍රතිග්‍රාහකයාගෙනුත් පිරිසිදු නොවෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. ඒ වගේම ප්‍රතිග්‍රාහකයෝත් දුස්සීලයි. පවිටු ගතිගුණවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙන්වත් ප්‍රතිග්‍රාහකයාගෙන්වත් දානය පිරිසිදු වෙන්නේ නෑ.
පින්වත් ආනන්ද, දායකයාගෙනුත් පිරිසිදුවෙන, ප්‍රතිග්‍රාහකයාගෙනුත් පිරිසිදු වෙන දානය කුමක්ද? පින්වත් ආනන්ද, මෙහිලා දායකයා සිල්වත් කෙනෙක්. යහපත් ගුණධර්ම ඇති කෙනෙක්. ඒ වගේම ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත්. යහපත් ගුණධර්මවලින් යුක්තයි. මෙසේ ඇති කල්හි පින්වත් ආනන්ද, දායකයාගෙනුත් දානය පිරිසිදු වෙනවා. ප්‍රතිග්‍රාහකයාගෙනුත් පිරිසිදු වෙනවා.පින්වත් ආනන්ද, මේ තමයි දානය පිරිසිදු වෙන ආකාර සතර.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වූ මෙම ගාථාවන් ද වදාළා.
යෝ සීලවා දුස්සීලේසු දදාති දානං,
ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ,
අභිසද්දහං කම්මඵලං උළාරං,
සා දක්ඛිණා දායකතෝ විසුජ්ඣති
යමෙක් සිල්වත්ව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය පිරිසිදු වන්නේ දායක පක්ෂයෙනුයි.
යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං,
අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තෝ,
අනභිසද්දහං කම්මඵලං උළාරං,
සා දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ඣති
යමෙක් දුස්සීලව සිට, අධාර්මිකව ලැබූ දෙයින්, නොපහන් සිතින් යුතුව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයෙන් තොර වූ ඒ දානය පිරිසිදු වන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂයෙනුයි.
යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං,
අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තෝ,
අනභිසද්දහං කම්මඵලං උළාරං,
න තං දානං විපුලප්ඵලන්ති බ්‍රෑමි
යමෙක් දුස්සීලව සිට, අධාර්මිකව ලැබූ දෙයින්, නොපහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයෙන් තොර වූ ඒ දානය මහත්ඵල මහානුසස් නැහැ කියලයි මා කියන්නේ.
යෝ සීලවා සීලවන්තේසු දදාති දානං,
ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ,
අභිසද්දහං කම්මඵලං උළාරං,
තං වේ දානං විපුලප්ඵලන්ති බ්‍රෑමි
යමෙක් සිල්වත්ව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව සිල්වතුන් වහන්සේලා හට දානයක් වශයෙන් දෙයි ද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය ඒකාන්තයෙන් ම මහත්ඵල මහානිසංස තියෙනවා කියලයි මා කියන්නේ.
යෝ වීතරාගෝ වීතරාගේසු දදාති දානං,
ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ,
අභිසද්දහං කම්මඵලං උළාරං,
තං වේ දානං ආමිසදානානමග්ගන්ති
යමෙක් වීතරාගීව සිට, දැහැමින් ලැබෙන දෙයින්, ඉතා පහන් සිතින් යුතුව, වීතරාගී උතුමන් හට දානයක් වශයෙන් දෙයිද, උදාර වූ කර්මඵල විශ්වාසයකින් යුතුව දුන් ඒ දානය ඒකාන්තයෙන්ම ආමිස දාන අතර අග්‍රයි කියලයි මා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!