ජනපදකළ්යාණි රහත් තෙරණින් වහන්සේ
සියලු ධර්මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පදුමුත්තර ජිනේන්ද්රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි ලොවැ පහළවී වදාළ සේකැ. සියලු ප්‍රාණීන්ට අවවාද කරන, දහම් අවබෝධ කරවන සසරින් එතෙර කරවන, දේශනාකූශල වූ බුදුරජාණන් වහන්සේ බොහෝ ජනතාව සසරින් එතෙර කරවූ සේකැ. සියලු ප්‍රාණින්ට අනුකම්පා කරන කරුණා ඇති හිතෛෂී වූ ශාස්තෘන් වහන්සේ වෙතැ පැමිණි සියලු අන්‍යතීර්ථකයන් පන්සිල්හි පිහිට වූ සේක. මෙසේ ලොව නිරවුල් වීයැ, අන්යලබ්ධීන්ගෙන් සිස් ද වීයැ, චිත්තවශී වූ මැදහත් ගුණ ඇති රහතුන්ගෙන් විසිතුරු වීයැ, ඒ මහාමුනිහු අටපනස් රියනක් උස් වූහ, රන්ඇගෑයක් බඳු වූහ, දෙතිස් මහාපුරිස් ලකුණින් යුතු වූහ. එකලැ මිනිස්නට හවුරුදු සියක්දහසක් ආයු වෙයි. එපමණ කල් වැඩ සිටිමින් ශාස්තෘන් වහන්සේ බොහෝ ජනතාව සසරින් ගොඩ නඟාලූ සේක.
එකලැ මම හංසවතී නුවරැ නන් රුවනින් බබළන මහත් සුවයෙන් සමර්පිත සිටුකුලෙකැ උපන්නෙමි. ඒ පියුමතුරා මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ අමෘත වූ පරම ආස්වාදකර ධර්මදේශනා ශ්‍රවණය කළෙමි. එකල්හි සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ නිමන්ත්‍රණය කොට ජිනේන්ද්රයන් වහන්සේට මහදන් දී සිය දිවිහිමියෙන් ප්‍රසන්න වූවා සඞ්ඝයා සහිත ලෝකනායක වීරයන් වහන්සේ වෙත මස්තකයෙන් වැඳ වැටී ධ්‍යාන කරන භික්ෂුණීන් අතරැ අග්‍ර ස්ථානය ප්‍රාර්ථනා කළෙමි. එවිට තිලෝකසරණ වූ ප්‍රභූ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ,
“ඒ මනා ප්‍රාර්ථනය ලබන්නෙහි. මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ. ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්මයෙන් නිර්මිත වූ නමින් නන්දා නම්වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහියැ” යි ප්‍රකාශ කළ සේක.
එ අසා ප්‍රමුදිත වැ මෙත්සිත් ඇතිව විනායක වූ ජිනේන්ද්රයන් වහන්සේ දිවිහිම් කොට සිවු පසින් උවටැන් කළෙමි. මම ඒ කුශලකර්ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි. මම එයින් ච්‍යුත වූවා යාම දෙව්ලොවට ගියෙමි, එයින් තුෂිතයට ද, එයින් නිර්මාණරතියට ද, එයින් වශවර්ති පුරයට ද ගියෙමි. ඒ කර්මබලයෙන් යම් යම් තෙනෙකැ
උපන්නෙම් ද, ඒ ඒ තැන දෙව් රජුනට මෙහෙසි බව කරවීමි. ඒ දෙව්ලොවින් චුත වූවා මිනිසත් භවෙහි සක්විති රජුනට ද පෙදෙසි රජුනට ද මෙහෙසිබව කරවීමි. සැපත් වළඳා දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද සුඛිත වැ නොයෙක් කප්හි සැරිසැරුවෙමි.
පශ්චිම භවය පැමිණි කල්හි මම කිඹුල්වත් නුවරැ සුද්ධෝදන රජුහට දුහිතෘ වීමි. සිරිකතවන් රූමත් මා දැක ඒ කුලය ප්‍රීතිමත් වියැ, ඒ හේතුයෙන් ‘නන්දා’ යන මාගේ නාමය ‘සුන්දරි’ යන උපපද සමග ඇති වී. ඒ රම්‍ය වූ නගරයෙහි යශෝධරාව හැරුණුකල සියලු යුවතීන් අතරැ ‘කල්‍යාණී’ යි ප්‍රකට වීමි. මාගේ දෙටු බෑයා තුන්ලොවට අග්‍ර වූ බුදුරජාණෝ යැ, එසෙයින් මැ කණිටු බෑයා රහතන් වහන්සේ නමකි. එකලා වැ ගිහිගෙහි සිටුනා මම් මව විසින් චෝදනා කරන ලද වූවෙමි.
“දියණියනි, තෝ ශාක්‍යකුලයෙහි උපන්හි, බුදුරදුන්ගේ බුහුන වෙහි, නන්දයන්ගෙනුදු වෙන් වූවා කුමක් හෙයින් ගෙහි වසන්නෙහි ද? යොවුන් බව ජරාව අන්ත කොට ඇත්තේ යැ, රූපය අපවිත්‍ර යයි සම්මත යැ, නිරෝගි බව රෝගය අන්ත කොට ඇත්තේ යැ, ජීවිතය මරණය අන්ත කොට ඇත්තේ යැ, චන්ද්‍රයා සේ කාන්ත වූ මනහර වූ භූෂණයනට වඩා අලඞ්කාර වූ ශ්‍රී සමූහයක් බඳු වූ ලෝක සාරය පිඬු කළාක් වැනි වූ නේත්‍ර රසායන වූ තොපගේ මේ ශුභ වූ රූපය ද නොබෝ කලකින් ම ජරාව විසින් මැඩලන්නේ යැ. දියණියනි, ගෙය හැරපියා තුරුණු වියෙහි දී බ්‍රහ්මචාරී වව”.
මම මවුගේ බස් අසා බුදුසසුන්හි කයින් පැවිදි වීමි, එසේ වුවද සිතින් පැවිදි නොවීමි. මවු තොමෝ මහත් ප්රයත්නයෙන් මා ධ්‍යාන ඉගැන්මෙහි යෙදුනක කරන්නට කථා කරයි, මම එහි උත්සුක නොවීමි.
ඉක්බිති මහා කාරුණික ජිනේන්ද්රයන් වහන්සේ කාමයෙහි ලොල් වූ මා දැක රූපයෙහි කළකිරවනු පිණිස මා ඇස් හමුයෙහි ස්වකීය අනුභාවයෙන් ශෝභා ඇති දැකුම්කලු ඉතා මනහර මාහටත් වඩා අතිශයින් රූමත් වූ ස්ත්‍රියක මැවූ සේකැ. අති විෂ්මයජනක සිරුරු ඇති ඇය දැක විස්මයට පැමිණි මම “මාගේ නේත්‍ර ලාභයත් මිනිසත් බවත් සඵලැ” යි සිතීමි.
ඉතා සුන්දර වූ ඕ ටිකෙන් ටික විරූපි වී ගියේ ක්ෂණයෙන් බිම වැටී ගති. කුණු වී ඕජා වැගිරෙන්ට ගතී. කුණු ගඳ දසත පැතිරී ගියේ වී. එවිට මහාකාරුණික මාගේ බෑයා වූ ලෝකනාථයන් වහන්සේ කලකිරුණු සිතැති මා දැක මේ ගාථා වදාළ සේක.
“නන්දාවෙනි, ලෙඩවන, කුණුවන, වැගිරෙන අපිරිසිදු මේ කය බලව. සිත අසුභ වශයෙන් වඩා එකඟ කරගනුව. දුගඳ වහනයවන, මළ වැගිරෙන, නුනුවණ අයගේ මන වඩන, මෙය යම්සේ ද එය ද මෙසේ යි. එය යම්සේ ද මෙය ද එසේ යි. රෑ දාවල් අනලස් වැ මෙසේ සිතන්නී, ඒ නිසාම සිය නැණින් එළඹ දකුව.”
මනාව දේශනා කළ ඒ ගාථා අසා, අතිශය සංවේගයට පැමිණි මම, එහි ම සිටැ විදසුන් වඩා රහත් වීමි. ඒ ඒ තන්හි සියලු කල්හි මැ ධ්යානපරවශ වැ, පිළිපන් මාගේ ගුණය දැක බුදුරජාණන් වහන්සේ මා එතදග්‍රයෙහි තැබූ සේක.