රූපනන්දා රහත් තෙරණින් වහන්සේ
මෙයින් එක්අනූවන කපෙහි මනහර ඇස් ඇති සියලු දහම් විශයෙහි නුවණැස් ඇති විපස්සී නම් නායකයන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල මම බන්ධුමතී නුවර සමෘද්ධ වූ ධන-ධාන්‍යයෙන් පිරුණු මහා කුලයෙහි උපන්නී මනා රූ ඇත්තී මහජනයාට ප්‍රිය ද පූජනීය ද වීමි. මහාවීර වූ විපස්සී ලෝකනායකයන් වහන්සේ කරා එළඹැ බණ අසා නරනායක වූ බුදුන් සරණ ගියෙමි. සීලයෙන් සංවර වැ යළි බුදුන් පිරිනිවි කල්හි ධාතු ස්තූපය මතුයෙහි රන්සතක් පිදූවෙමි. මුදන ලද ත්‍යාග ඇති ව යාවජීවයෙන් සිල්වත් වැ එයින් සැවැ මම මිනිස්කය හැරපියා තව්තිසාවට පැමිණියෙමි.
එකල්හි මම රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් හා පහසින් ද ආයුෂයෙන් ද වර්ණයෙන් සුඛයෙන් යශසින් ද එසේ මැ ආධිපත්‍යයෙන් ද යන දස කරුණෙන් සෙසු දෙවියන් යටපත් කොට අභිභවා බැබැළීමි.
දැන් මම පශ්චිම භවයෙහි කිඹුල්වත් නුවර උපන්නෙමි. ඛේමක ශාක්‍ය රජුගේ දියණි වූ අතිශයින් ප්‍රසිද්ධ නන්දා නම් වීමි. කාන්තිය ඇති කරවන ‘අභිරූප’ යන උපපදය මට විය. යම් කලෙක මම රූපලාවණ්‍යයෙන් අලඞ්කාර වූ යොවුන් වියට පැමිණියම් ද එකල මා සඳහා ශාක්‍යයන්ගේ ඉතා මහත් විවාදයෙක් විය. ඉක්බිති පියරජ තෙමේ ශාක්‍යයෝ නහමක් වැනසෙත්ව’ යි මා පැවිදි කැරැවී.
පැවිදි වැ නරෝත්තම වූ තථාගතයන් වහන්සේ රූපයට ද්වේෂ්‍ය වූහ යි අසා මාගේ රූපයෙන් ගර්විත වැ බුදුරජුන් වෙත නො යමි. බුදුරජුන් දැකීමෙහි බියපත් වූවා අවවාදයට ද නො යමි, එකල මහා වීරයන් වහන්සේ උපායෙකින් තමන් වහන්සේ සමීපයට මා පමුණුවාලූ සේක් උපායෙන් මා මන් බිඳ හෙලු සේක. මාර්ගයෙහි නිපුණු වූ තථාගතයන් වහන්සේ අප්සරා රූපයක් බඳු වූ තරුණියක ද ජරාවට පැමිණියක ද මළ එකක ද යන තුන් ස්ත්‍රී කෙනෙකුන් සෘද්ධියෙන් මට දැක්වූ සේක. ඔවුන් දැක අතිශයින් සංවේගයට පැමිණියා සිය සිරුරෙහි ආලය හැර භවයෙහි කලකිරී ගියෙමි. එකල්හි මට නායකයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“නන්දාවෙනි, රෝගයෙන් ආතුර වූ අපවිත්‍ර වූ කුණු වූ සෙම් සොටු නැඟෙන මල මූ වැගිරෙන, බාලයන් විසින් අභිනන්දනය කළ ශරීරය බලව. අරමුණෙහි එකඟ වූ මොනොවට සමාහිත වූ සිත අසුභය නිමිති කොට වඩව, මේ කය යම්සේ ද තෙල කයත් එබඳු යැ, තෙල අසුභය යම්සේ ද මේ කයත් එබඳු යැ. රෑ දහවලැ නොමැලි වැ තෙල අසුභය මෙසේ බලමින් යළි ස්වකීය ප්‍රඥායෙන් නිර්වේදයට පැමිණ වාසය කරව.”
ශාස්තෲන් වහන්සේගේ අතිශය අනුකම්පා සහිත අවවාද ලැබූ මම් නොපමාව නුවණින් යුක්ත වැ වාසය කළෙමි. මම් විසින් මේ කය තතුසේ දක්නා ලද්දේ ය. ඉක්බිති මම කයෙහි කලකිරීමි, ආධ්‍යාත්මයෙහි ද නො ඇලුණිමි. අප්‍රමාද වැ සංයෝග රහිත වූවා උපශාන්ත වැ කෙලෙස් පිරිනිවනින් පිරිනිවියා වෙමි.
“මහාමුනිවරයන් වහන්ස, මම සෘද්ධි විෂයෙහි ද දිව්යශ්රොත්රධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි. පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්ෂය වූහ, දැන් පුනර්භවයෙක් නැති. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අත්ථ ධම්ම – නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඥානය උපන. ක්ලේශයෝ දවන ලදහ. බුදුසසුන් කරන ලදී.”