අඩ්ඪකාසී රහත් තෙරණින් වහන්සේ
මේ භද්‍රකල්පයෙහි බ්රහ්මබන්ධු වූ මහා යශස් ඇති වාදීන් කෙරෙහි උතුම් වූ නමින් කස්සප නම් වූ බුදුරජාණන් වහන්සේ උපන්සේක. එකල්හි මම් ඒ බුදුරජුන්ගේ ශාසනයෙහි පැවිදි වැ ප්රාතිමෝක්ෂයෙහි ද පඤ්චෙන්ද්රියන්හි ද සංවෘත වැ භෝජනයෙහි පමණ දන්නී නිදිවැරීමෙහි ද යෙදුණි, යෝගයෙහි යෙදී වාසය කරන මම රහත් මෙහෙණකට ආක්‍රොශ කළෙමි. එකල මම දුෂ්ට සිත් ඇති වැ “ගණිකාවකැ” යි කීමි. ඒ පව් කමින් නිරයෙහි පැසීමි.
එමැ කර්මාවශේෂයෙන් බෙහෙවින් මැ පරාධීන වැ ගණිකා කුලයෙහි උපන්නෙමි. යළි පශ්චිම ජාතියෙහි බඹසර ඵලයෙන් මම කාසි ජනපදයෙහි සිටු කුලයෙකැ ඉපිදැ රූ සපුයෙන් දෙව්ලොවැ අප්සරාවක මෙන් වීමි. දර්ශනීය වූ මා දැක මාගේ ආක්රොශඵලය හේතු කොටගෙන රජගහ පුරවරයෙහි ගණිකා බැව්හි තබාපූහ. ඒ මම් බුද්ධ ශ්‍රේෂ්ඨයන් විසින් දෙසනලද සදහම් අසා ශාසනයෙහි පැවිදි වීමි.
ඉක්බිති උපසම්පදා වීම සඳහා බුදුරජාණන් වහන්සේ සමීපයට යන්නී මගැ ධූර්තයන් සිටියවුන් අසා දුතොපසම්පදාව ලදිමි. සියලු කර්ම ද එසේ මැ පින්පව් ද ක්ෂය විය, සියලු සසර තරණය කළෙමි. ගණිකාබව ද ක්ෂය කළෙමි.
“මහාමුනිවරන් වහන්ස, සෘද්ධීන්හි ද දිව්යශ්රෝතයෙහි ද වශී වෙමි, චේතෝපරියඤාණයාගේ ද වශි වෙමි. පෙර විසූ කඳ පිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරනලද, සර්වාස්රවයෝ පරික්‍ෂීණයහ. දැන් පුනර්භවයෙක් නැති. මහාවීරයන් වහන්ස, නුඹවහන්සේ සමීපයෙහි අත්ථ – ධම්ම – නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ නුවණ උපන. කෙලෙස්හු දවන ලදහ. බුදුසසුන කරන ලදී.”