සිඟාලමාතා රහත් තෙරණින් වහන්සේ
මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය පියුමතුරා නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක. එකල්හි මම හංසවතියෙහි නන්රුවනින් බබළන සමෘද්ධ වූ ආඪ්‍ය වූ මහත් ධන ඇති ඇමැති කුලයෙක උපන්නෙමි. මහාජනයා විසින් පෙරටු කරන ලදු වැ පියා සමග ගොස් බුදුරදුන්ගේ දහම් අසා ශාසනයට පැමිණියෙමි. පැවිදි වැ කයින් පව්කම් දුරු කළෙමි, වාක් දුසිරිත හැරපියා ආජීවය පිරිසිදු කළෙමි. බුදුරදුන් කෙරෙහි පහන් වුවා දහම්හි ද සඟුන් කෙරෙහි ද දැඩි ගෞරව ඇති වැ බණ ඇසීමෙහි යෙදුණෙමි. බුදුන් දැකීමෙහි ලොල් වීමි.
එකල්හි සද්ධාධිමුත්ත වූවන් කෙරෙහි අග්‍ර වූ මෙහෙණක දිටීමී. ඒ තනතුර පතා ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරමින් විසුවෙමි. ඉක්බිති කරුණායෙන් යුත් සිත් ඇති සුගතයන් වහන්සේ මට මෙසේ වදාළ සේක.
“තථාගතයන් කෙරෙහි යමෙක්හුගේ ශ්‍රද්ධාව නො සැලී පිහිටියා ද, යමෙක්හට මාර්ගඵල සම්ප්‍රයුක්ත හෙයින් ආර්‍ය්‍යකාන්ත වූ පසස්නා ලද කල්‍යාණ ශීලය ඇද්ද, සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද, ධර්මදර්‍ශනය සෘජු වූයේත් වේ ද, ඔහු නො දිළින්දෙකැයි කියති. ඔහුගේ ජිවිතය නො සිස් වේ. එහෙයින් නුවණැතියේ බුදුන්ගේ අනුසසුන් සිහි කෙරෙමින් ශ්‍රද්ධාව ද ශීලය ද ප්‍රසාදය ද ධර්මදර්ශනය ද යන මෙහි යෙදෙන්නේය. කල්‍යාණිය, තෙපි බුදුන් කෙරෙහි පහන් වූවා තෙල පතන ලද්ද ලබන්නාව. මෙයින් ලක්ෂයක් වන කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපන් නමින් ‘ගෝතම’ නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වන්නාහ. දහම්හි දායාද ඇති ඖරස වූ ධර්‍මයෙන් නිර්මිත වූ ‘සිගාලමාතු’ යන නම් ඇති ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නීය තෙපි.”
ඒ අසා සතුටු වැ එකල්හි යාවජ්ජීවයෙන් මෙත් සිත් ඇති වැ ජින වූ ලෝකනායකයන් වහන්සේට පිළිවෙතින් උපස්ථාන කළෙමි. මනා කොට කරන ලද ඒ පින්කමින් ද සිත පිහිටුවීමෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.
යළි දැන් පශ්චිම භවයෙහි රජගහ පුරවරයෙහි මහත් රත්න ඇති සමෘද්ධ වූ සිටු කුලයෙහි උපන්නෙමි. මට, විරුද්ධ මාර්ගයෙහි ඇලුණු දෘෂ්ටිගහනයට පිවිසි දිශාවන් පිදීමෙහි, ඇලී සිටියා වූ, ‘සිගාලක’ නම් පිතෙක් වී. පිඬු සිඟා නුවරට වඩනා විනායක වූ බුදුරදුන් නානා දිශාවන් නමස්කාර කරන ඔහු දැක මාර්ගයෙහි සිට ඔහුට දහම් දෙසන කළ බුදුරදුන්ගේ නින්නාදය විස්මය දනවනු විය. දෙකෙළක් ස්ත්‍රී පුරුෂයනට ධර්‍මාවබෝධය වී. එකල්හි මම පිරිස කරා ගොස් සුගතයන් වහන්සේගේ භාෂිතය අසා සෝවාන් ඵලයට පැමිණියා ශාසනයට පැමිණියෙමි.
නොබෝ කලකින් ම බුදුන් දැකීමෙහි ලොල් වූ මම ඒ බුද්ධානුස්මෘතිය වඩා රහත්බවට පැමිණියෙමි. ලෝකනායකයන් වහන්සේ දැකීම පිණිස මම හැම දින මැ යමි, නයන නන්‍දන වූ බුද්ධ රූපය තෘප්ති රහිත ව මැ දක්මි. සියලු පාරමී බලයෙන් හටගත් ලක්‍ෂමී නිවාස වූ සියලු ශුභ ලක්‍ෂණයෙන් ගැවැසීගත් උත්තම රූපය මම අතෘප්ත වැ බලමින් වෙසෙමි. ඒ ගුණයෙහි සතුටු වූ ජින වූ භාග්‍යවතුන් වහන්සේ ‘සිගාලක’ ගේ මාතෘ වූ මෙහෙණ අග්‍ර වූ ශ්‍රද්ධාධිමුක්ති ඇත්තී යයි මා එතදග්‍රයෙහි තැබූහ.
මහාමුනීද්‍රයන් වහන්ස, සෘද්ධි විෂයෙහි ද දිව්‍යශ්‍රොත්‍ර ධාතුයෙහි ද මම වශී වෙමි, පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි. පූර්වනිවාස දනිමි, දිවඇස පිරිසිදු කරන ලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්භවයෙක් නැති. මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ සමීපයෙහි අත්‍ථ ධම්ම නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඤාණය උපන. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. අනුසසුන් කරන ලදහ.