කුස ජාතකය
කුස මහරජු යොදුන් සියයක් දුර ගෙවා සවස් වෙද්දී මධුරට සාගල නුවරට පැමිණියේය. රාජාභරණ රාජ සළුපිළිවලින් තොරව, සාමාන්‍ය වස්ත්‍රයකින් සැරසී සිටින කුස මහරජුන්ව කිසිවෙකුත් හැඳින්නේ නැත. එදා රාත්‍රියේදි ඇත් හලට ගොස් ඇත් ගොව්වන්ගෙන් අවසර ගෙන එහි නතර විය. තමාගේ වීණාව අතට ගෙන මෙසේ අදිෂ්ඨාන කළේය.
“සියළු සාගල නුවර වාසීහු මාගේ වීණා වාදනය අසත්වා”
සසරෙහි අනේකප්‍රකාරයෙන් පාරමිතා පුරමින් සම්බුද්ධත්වය පිණිස පින් පුරමින් වඩිනා බෝසතාණන් වහන්සේගේ අදහස ඒකාන්තයෙන්ම ඉෂ්ඨ වෙයි. එනිසා එදා රාත්‍රියේ ඉතාමත්ම කන්කළු දිව්‍යමය නාදයක් බඳු වීණා නාදයක් රස විඳීමට සියලු සාගල නුවර වාසීන්ට අවස්ථාව උදා විය. මිහිරි වීණා නාදය ශ්‍රවණය කල මධුරජ අතිශයින්ම පිනා ගියේය. ‘හෙට මොහු කැඳවා මාගේ ප්‍රධාන ගාන්ධර්වයා කරන්නෙමී’යි සිතුවේය. වීණා හඬ ඇසෙත්ම ඒකාන්තයෙන්ම මේ කුස මහරජුගේ වීණා නාදය බවත් තමන් සොයා මහරජු සාගල නුවරට පැමිණ ඇති බවත් පබාවතිය දැන ගත්තාය. නමුත් ඒ බව කිසිවෙකුට හැඟෙව්වේ නැත.
ඇත්හලේ වාසය කිරීමෙන් පබාවතිය දැක ගැනීමේ අවකාශයක් නොලද තැන කුස මහ රජු රාජකීය කුඹල් කරුවාගේ නවාතැන වෙත ගියේය. එහි නොයෙක් ආකාරයෙන් කැටයම් දමා ඉතාමත් විචිත්‍ර ආකාරයෙන් දිව්‍යමය නිමාවකින් යුතු වූවක් වැනි ලොකු කුඩා වළං විශාල ප්‍රමාණයක් තැනුවේය. එයනම් හරිම අසිරියකි. උදෑසන කැරකූ කුඹල් සක යලි කරකැවීමට අවශ්‍ය නොවුනි. හිරු බැස යන තෙක්ම, බෝසතාණන් වහන්සේට අවශ්‍යතාක් කල් රෝදය කැරකුනි. ඉන් සමහරක් මැටි භාජන වල තමාගේත් පබාවතියගේත් පබාවතියගේ දාසියක වූ කුදියගේත් රූ කැටයම් කලේය ‘මේවා පබාවතිය පමණක්ම දකිත්වා’ යි අදිෂ්ඨාන කලේය. එය ඒ ආකාරයටම සිදු විය.
රූ රටා දුටු වහා පබාවතිය තැති ගත්තීය. අකමැත්තත් නොරිස්සුම් බවත් පළකරමින් ඕ වහා එතනින් ඉවත් වී ගියාය.
කුඹල්කරු ලග සිටියත් පබාවතී දැක ගැනීමට අවස්ථාවක් නොලැබෙන හෙයින් රජු එතනින් ඉවත්ව රාජකීය නළකාරයා (වේ වැල් භාණ්ඩ සාදන්නා) සමීපයට ගියේය. බොහෝ දර්ශණීය අන්දමේ විසිතුරු කැටයම් දමමින් වේ වැල් වලින් විවිධ නිර්මාණයන් කලේය. එහිදීද බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨානය පරිදි පබාවතිය උදෙසා කල සියලු නිර්මාණ ඇයටම ලැබුණි. ඇයගේ ප්‍රතිචාරයද පෙර පරිදිම විය. ඈ ඒ සියල්ල ප්‍රතික්ෂේප කලාය.
අවසානයේදී කුස මහ රජු, රාජකීය අරක්කැමියා ලඟ නැවතුනි. එහි අතවැසියෙකු සේ කටයුතු කරමින් රජ ගෙදරට බත සපයන්නේ තමා විසින්ම බත් කද කරේ තබාගෙන රාජ දියණිවරුන්ගේ මාළිගයට ගොස් බත් බෙදුවේය.
කුස මහ රජු තමන්ට තරම් නොවන මේ සියලු දුක් ගන්නේ පබාවතිය දැක ගැනීම පිණිසමය. නමුත් හේ තවමත් නොපිරුණු මනදොළින් යුක්තය. දිනක් හේ බත් කද ගෙන පබාවතිය වාසය කරන ප්‍රාසාදයට නැංගේය. ඒ දුටු පබාවතී මෙසේ සිතුවාය.
‘මේ කුස මහ රජු තමන්ට කිසිසේත්ම නුසුදුසු, තමාගේ දාස කම්කරුවන් විසින් කල යුතු වූ කටයුතු කරයි. ඉතින් මම් නිහඬව සිටියොත් රජතුමා තවදුරටත් මා ගැන අපේක්ෂාවෙන් මෙසේම කරමින් සිටීවි. නමුත් මා තදින් දැඩි වී සිටියොත් මා ගැන අපේක්ෂා හැර දමා රජතුමා වහා කුසාවතී රාජධානියට පළා යාවී’
මෙසේ සිතා ඈ තමාගේ කුටියේ දොර මදක් විවෘත කොට දොර අගුල එක් අතකින් අල්ලාගෙන කුටිය තුල සිටිද්දීම රජුට ඇසෙන පරිදි මෙසේ කිවාය.
“කුස මහ රජුනි, ඔබ රැයක් දවාලක් රාත්‍රියක් කියා වෙනසක් නැතිව මේ විදිහට බත් කද කරේ තියාගෙන දුක් විඳින්නේ මන්ද? වක් වූ ඔබගේ බත් කදේත් ඔබගේ සිතෙත් වෙනසක් මා හට නොපෙනේ. ඔය ආකාරයෙන් දුක් ගන්නා, දැකීමට ඉතාමත් අපහසු විරූපී වූ දුර්වර්ණ වූ ඔබව මට කිසිසේත්ම ප්‍රිය නොවේ. එනිසා ඔබ වහාම කුසාවතියට ම යන්න”
මෙයනම් අතිශයින්ම හද කකියවන සිද්ධියකි. සම්මා සම්බුද්ධත්වය උදෙසා පාරමී ධර්මයන් පුරමින් වඩිනා අප මහ බෝසතාණන් වහන්සේ අහෝ කාමයන් නිසා මෙතරම්ම නින්දා ලබන තත්වයකට පත් වූ සේක් සසරගත අනෙකුත් සත්වයන් මේ භව ගමනේදී හීන වූ නින්දා ලබමින් කොතරම් දුෂ්කරව ජීවිත ගත කරත්ද? කාමයන්නම් ඒකාන්තයෙන් ගැරහුම් ලැබිය යුත්තක්මය. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාමයන්ගෙන් මිදී නින්දා ලබන ජීවිතයෙන් සදහටම මිදී ගිය සේක. එසේ මිදී ගිය අප භාග්‍යවතුන් වහන්සේ ඒ මිදී යන මාර්ගය අපටද පෙන්වා වදාල සේක.
දීපංකර පාද මූලයේ පටන් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන ජීවිතය දක්වාම මහ බෝසතාණන් වහන්සේ උදෙසාම කැප වෙමින් සෙවනැල්ලක් සේ පැමිණි අපගේ යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ ජීවිත ගමනේ මෙවන් වූ සිද්ධියක් සිදු වූ මේ එකම අවස්ථාවයි.
කර්මානුරූපී සිද්ධියක් වන මෙහි ආරම්භය ඉන් බොහෝ ආත්ම ගණනාවකට පෙර සිදු වූවකි. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයයි. එකල බරණැස එක් කුලයක පුතුන් දෙදෙනෙකුත් තවත් කුලයක එකම දියණියකුත් විසූහ. දියණිය, පවුලේ වැඩිමහල් පුතුගේ භාර්යාව ලෙස විවාපත්ව නැදි මයිලන් සමග වසද්දී එම කුලයේ බාල පුතු විවාහ නොවී තමාගේ සහෝදරයාගේ නිවසේ නතර විය.
දිනක් යම් කටයුත්තකට එම නිවසේ අතිරස කැවුම් පිසින ලදී. ඉතිරි වූ කැවුම් කොටසින් බාල සොහොයුරාගේ කැවුම් කොටස වෙන්කොට තබා ඉතිරි කැවුම් නිවැසියන් විසින් අනුභව කොට අවසන් වූ විටම පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිවසට පිඬු පිණිස වැඩි සේක. පිදීමට අන් කිසිවක් නොවූ හෙයින් බාල සොහොයුරාගේ කැවුම් කොටස ඔවුන් පසේ බුදුරජාණන් වහන්සේට පූජා කලෝය. ඒ සමගම බාල සොහොයුරාද නිවසට පැමිණියේය. ඔහු දුටු ඇය මෙසේ කීවාය.
“ඔබ සිත පහදවාගන්න. ඔබේ කැවුම් කොටස අපි පසේ බුදුරජාණන් වහන්සේට පූජා කලා. ඒ පින ඔබ සතුටින් අනුමෝදන් වෙන්න”
අනුමෝදන් වෙනවා වෙනුවට බාල සොහොයුරා ඒ ගැන තදින්ම කේන්ති ගත්තේය. ‘තොපගෙ කොටස බඩ පුරා කා මාගේ කොටස පමණක් දුන්නා’ යි කියමින් තරහෙන් ගුගුරමින් දිව ගොස් තමාගේ අතින්ම පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයෙන් යලි කැවුම ගත්තේය. ඇය වහා තමාගේ මෑණියන්ගේ නිවසට දිවගොස් ඉතා පිරිසිදු ප්‍රණීත ගිතෙල් ගෙනවුත් පාත්‍රය පුරා පූජා කර ගත්තීය.
අහෝ! අසිරියක්මැයි. ඈ කල දෙයින් සිදු වූවේ යහපතක්මය. සසරෙහි ඇවිද යාමට සිදුවීමේ දෝෂයෙන් ක්ලේශ වසඟව අප මහ බෝසතාණන් වහන්සේ ය එසේ තරහින් පාත්‍රයට අත දමා පසේ බුදුරදුන්ට පිදූ කැවුම උදුරා ගත්තේ. එදා දානය නොලැබීමෙන් සුන් බත් වෙන්ට නොදී, හිස් පාත්‍රය අති ප්‍රණීත ගී රසයෙන් පුරවා පසේ බුදුරජාණන් වහන්සේ වළඳවා පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ දානය වැරදවීමේ මහා පාපකර්මය සිදුවන්ට නොදී ඉන් අප මහ බෝසතාණෝ රැක ගත් උත්තමාවයි යසෝදරා.
තම ස්වාමියාගේ බාල සොහොයුරා මෙසේ අත්තනෝමතිකව කල දෙයින් දුකට පත් ඈ හදිසි ආවේගය නිසා පසේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙසේ ප්‍රාර්ථනා කළාය.
“ස්වාමීනී, මේ පිදූ දානයේ ආනුභාවයෙන් උපනූපන් ආත්මභාවවලදී මාගේ ශරීර පැහැය රන්වන් වේවා! මාගේ සිරුර අලෝකමත්ව පියකරු වේවා! මට මේ අසත්පුරුෂයා සමග එකට වාසය කිරිමක්නම් නොම වේවා!”
මෙය ඇසුනු බාල සොහොයුරා තමා උදුරාගත් කැවුම නැවතත් පසේ බුදුරජාණන් වහන්සේගේ ගිතෙල් සහිත පාත්රයටම දමා මෙසේ ප්‍රාර්ථනා කලේය.
“ස්වාමීනී, මැය යොදුන් සියයක් දුර විසුවත් මැයම ගෙනවුත් මගේ බිරිඳ බවට පත් කරගන්ට මම සමර්ථ වෙම්වා!”
මෙසේ දෙදෙනා වෙන් වෙන්ව සිදුකරගත් කර්මයාගේ විපාක බලයෙන් මේ ආත්ම භාවයේදී අප මහ බෝසත් කුස මහ රජු කැවුමක් වැනි මුහුණකින් යුතු දැකීමට ප්‍රිය නොවූ විරූපී පෙනුමකින් යුතු වූ අතර ප්‍රභාවතිය අතිශයින්ම සුන්දර මිහිපිට බට දෙව්ලියක් බඳු වූ උත්තම රූපයකින් යුතු වූවාය. කල ප්‍රාර්ථනය අනුව ඕ කුස මහ රජුට අකමැති වූවාය. කුස මහ රජු යොදුන් සියයක් දුර ගෙවා පැමිණ නින්දා ලබමින් ඈ නිසාම බොහෝ දුක් අනුභව කරමින් වසන්නාහ. අහෝ උත්තම බුදු වදන් නම් ඒකාන්ත සත්‍යක්මය. සුභාෂිතයක්මය. රියසක සේ සෙවනැල්ල සේ කර්මයාගේ විපාක අත් නොහැර සත්වයා පසුපසින් එන්නේය. ඉන් බේරි මිදී ඉන්ට තැනක් අහසේද නැත. පොළොවේද නැත. ගිරි ගුහාවේද, මූදු පතුලේද නැත. කරන කියන සිතන දේ ඒ අයුරින්ම විපාක දෙන්නේය. පසුපසින් එන්නේය. අමා මහ නිවන් සැප සාක්ෂාත් නොකොට, භව ගමනින් එතෙර නොවී, ඉන් මිදී යාමක් කිසිවෙකුටත් කිසි කලකත් නැත්තේය.
තමා තදින් කීවොත් කුස මහ රජු හරවා යැවිය හැකි වේයැයි පබාවතිය සිතුවත් සිදු වූවේ අනිකකි. තදින් නමුත් පබාවතියගේ මුවින් බිනූ වදන් කුස මහ රජුට අමෘතයක් විය. හේ සතුටින් ඉපිල ගියේය. මෙසේ උදම් ඇනීය.
“පබාවතිය, දැන්නම් මම මධුරට දමා කුසාවතියට කිසිසේත්ම නොයමි. ඔබගේ රූ සිරියෙන් මම මුසපත් වී සිටිමී. එනිසා මම් කුසාවතියේ මාළිගය හැර මධු රජහුගේ මුළුතැන් ගෙයි සතුටින් වාසය කරන්නෙමී”
“පබාවතිය, මම නුඹේ රූ සිරියෙන් අතිශයින්ම පැහැදී සිටින්නෙමි. ඔබම සොයා ඇවිද යන්නෙමි. රන්වන් මුව දෙනකගේ වන් ඔය මදලස බැල්මට මා අතිශයින්ම ප්‍රිය කරමි. ඔබ දකින පමාවෙන් මට දිශා අනුදිශා නොවැටහී යයි. මට මා සිටින්නේ කොහිදැයි යන වගවත් නොවැටහෙයි”
“මා ප්‍රිය පබාවතිය, රන්වන් වස්ත්‍ර හැඳ රන්වන් ආභරණයෙන් විචිත්‍රවත්ව දෙව් දුවක් සේ වසන නුඹව මට අත්‍යන්තයෙන්ම ප්‍රිය වන්නීය. එනිසා නුඹ වසන තැනින් මා ඉවත්ව නොයමි. යලි මා කුසාවතියට නොයන්නෙමී. මට ඉන් ප්‍රයෝජන නැත. මම මෙහිම වසමි. මම් නුඹ වසන තැනම වසමි”
ප්රයත්නය වැරදි ගිය තැන පබාවතිය ශබ්ද නගමින් දොර වසා ඇතුල් ගැබට වැද ගත්තීය. කුදිය කැඳවා කුස මහ රජු පිසූ බත ගෙන්වා ගත්තීය. නැවතත් කුදිය යවා රාජ මාළිගයේ දැසි දස්සන් උදෙසා පිසින ලද දාසි බතත් ගෙන්වා ගත්තීය. රජ පවුල උදෙසා කුස මහ රජු විසින් පිසින ලද රස නහර පිනායන සුවඳ වැගිරෙන ප්‍රණීත බත කුදියට දී ඕ කුදියගේ නීරස දාසිබත අනුභව කළාය.
එතැන් පටන් සෑමදාම පබාවතිය නීච දාසි බතම අනුභව කළාය. ස්වාමියා විසින් පිසින ලද කිසිවක් ඈ කිසි දිනක අනුභව නොකලාය.
එදා සිට යලි ඈ දැකීමේ අවස්ථාවක් කුස මහ රජු නොලද්දේය. පබාවතිය තුල තමන් කෙරෙහි අංශු මාත්‍ර හෝ සෙනෙහසක් ඇතිද නැතිද යන වග පරීක්ෂා කිරිමට කුස මහ රජුට අවශ්‍ය විය. හේ ඒ සඳහා සැලැස්මක් ක්‍රියාත්මක කළේය. බත් කද කර තියන් පැමිණ පබාවතියගේ මන්දිරයේ දොරටුව ඉදිරිපිටදී ක්ලාන්ත වී ගියාක් සේ මුණින් අතට වැටී ගත්තේය. ශබ්ධය ඇසී බිය වූ පබාවතිය දුවවිත් දොර හැර බැලුවාය. බත් ව්‍යාංජන දස අත විසිර ගොස්ය. කුස මහරජු පඩිපෙළ මත මුණින් අතට වැටී සිටී. සෙලවීමක්වත් නැත. ඈ බෝහෝ සෙයින් තැති ගත්තීය. ලෙහි අත් ගසමින් හඬා වැටෙමින් ඇතුල් ගැබෙහි ඒ මේ අත දිව්වාය.
ඒ මොහොතේ පබාවතියගේ හදවතේ පැනනැගුන ශෝක ගින්න ඈටවත් නොතේරුනි. කල්ප අසංඛෙය්‍ය ගණන් සසරේ අතොරක් නැතිව පරම පවිත්‍ර සෙනෙහසකින් මහ බෝසතාණන් වහන්සේ පිළිබඳ පමණක්ම දන්නා අසනා සිතනා ඇගේ හදවත මෙවැනි මොහොතකදී කම්පනය නොවුනානම් එයය පුදුමය. පබාවතිය කුස රජු පිළිබඳ දැඩි බවකින් විසීම හුදෙක් කර්මයාගේ විපාකයක් නිසාම සිදුවූවක් මිස ඈගේ සිතෙහි හෝ හදවතෙහි හෝ තබා මොහොතකට හෝ සිහිනෙයකින්වත් එවන් දෙයක් ඈ තුල නොමැත්තේමය. කර්මයාගේ විපාක එතරම්ම බලවත්ය. එනිසා නුවණැත්තන් කිසිඳු විටක හදිසි වී තීරණ ගත යුතු නැත. බලවත් පින් රැස්කොට ඒවා ආවේගශීලීව ලාමක වූ ප්‍රාර්ථනා තුල කිසිම අයුරකින් ලඝුකොට සැලකිය යුතු නොවේමය.
ඈ නැවත වහා දිවවිත් මහ රජුගේ ශරිරයෙහි ජීවය ඇද්දෝහෝයි පරික්ෂාකරනු වස් නැවී මුහුණට වඩාත් ලංව එබී බැලුවාය. එවිටම කුස මහ රජු කෙල තලියකින් කට පුරවා පබාවතියගේ මුහුණට දමා ගැසීය. ඈ කෝපයෙන් රතුව ගොසින් පසු පසට පැන කුටියේ දොර වසා ගත්තීය. දොර මදක් විවෘතකොට රජුට ඇසෙන සේ මෙසේ කිවාය.
“යමෙක් තමාට අකමැති කෙනෙක්ට කැමති වෙයිනම් ඔහුට ඒකාන්තයෙන් පිරිහීමම උරුම වන්නේය. මා ඔබට අකමැතිව සිටිද්දී ඔබ මාවම පතයි. දැකීමට අප්‍රිය වූ විරූපී වූ නුඹට මා කිසිසේත්ම කැමැති නොවෙමි”
උද්දාමයට පත් අප මහ බෝසත් කුස මහරජු ඈට මෙසේ පිළිතුරු දුන්නේය.
“එම්බා පබාවතිය, යම් පුරුෂයෙක් තමාට අකමැති වුවත් කැමති වුවත් පුරුෂයා ඒ ස්ත්‍රිය ලබත්නම් එය ලාභයක්මය. ඒ ලාභය ප්‍රශංසා කටයුත්තේය. නොලැබීමම ලාමක වූ දෙය වන්නේය.”
ඈ තවත් තදින් මෙසේ කීවාය’
“මා ඔබට අකමැතිය. අකමැති මා ඔබට කැමති වීම දැලකින් සුළං අල්ලන්නාක් සේයි. ලී දඬුවකින් මහා කළුගලක් කඩන්ට උත්සහ කරන්නාක් සේයි. එය කිසි දිනක කිසි ලෙසකින් සිදු නොවන්නේය”
“රාජ දියණියනි, මම නුඹට කියමි…නුඹ යම් තාක් මා දෙස බැම හකුළුවා බලත්ද, ඒ තාක් මා මධු රජුගේ මුළුතැන්ගෙයි අරක්කැමියා වෙමි. නමුත් ඔබ යම් මොහොතක මා දෙස බලා සිනාසෙත්ද, එවිට මම දඹදිව් තලයට අග්‍ර කුස රජු වෙමි.”
තමා අකමැති බව හඟවත්ම හඟවත්ම තමා කෙරෙහි කැමැත්තම ප්‍රකාශ කරන කුස මහ රජු ව්‍යාජයෙන් හෝ රවටා යලි කුසාවතියට හරවා යැවීමට සිතූ පබාවතී මෙසේ කීවාය.
“මා සත් අඩකට කපා දැම්මත් කිසිම විදිහකින් නුඹ මාගේ ස්වාමියා නොවන බවට නිමිත්ත පාඨකයන් සපථ කොට කියා ඇත. එනිසා ඔබ සිත දේ කෙසේවත් සිදු නොවෙයි”
එවිට කුස මහරජු මෙසේ කීවේය.
“පබාවතිය. ඒ ඔබගේ නිමිති පාඨකයන් ඔබ ගැන කී අයුරු නෙව. නමුත් මගේ නිමිති පාඨකයන් මා ගැන සිය වරක් දහස් වරක් සපථ කොට කීවේ ඔබ ඒකාන්තයෙන්ම සිංහස්වර ඇති කුස මහරජුගේ බිරිඳ වෙන බවයි. කුස රජු හැරෙන්ට නුඹට අන්‍යය වූ ස්වාමියෙක් නොමැති බවයි.”
කාලය ගෙවී ගියේය. නැවතත් පබාවතියගේ රූප මාත්‍රයක් කුස මහරජුගේ නෙතට මුණ නොගැසුනි. දිනක් හදිසියේම මුළුතැන් ගෙයි මිදුල මතින් මාළිගය දෙසට ලහි ලහියේ ඇවිද යන කුදිය රජුගේ නෙත ගැටුනි. හේ කුදිය ඇමතිය. නමුත් පබාවතියට බයෙන් ඈ කිසිවක් නෑසුන පරිද්දෙන් තමාගේ පය තව තවත් ඉක්මන් කරන්ට වී. කුස මහරජු දෙතුන් වරක් ඈ ඇමතුවත් ඈ එපරිද්දෙන්ම කළාය. හේ වේගයෙන් පැමිණ “එම්බා කෙල්ල කුදිය. ඔහොම නවතිනු”යි කී කල්හී කුදියට තව එකඳු පියවරක්වත් තැබීමට නොහැකි ව ශෛලමය ස්ථම්භයක් සේ හිටිවනම සිටියාය.
“කුදියෙණි, නුඹත් නුඹගේ ස්වාමි දියණිය සේමය. හදවත ගලක්ය. එහි තෙතමනයක් නැත්තේමය. අතිශයින්ම රළුය. තදය. මම් මෙපමණ කාලයක් නුඹලා ලඟ විසුවත් බොහෝ දුක් ගත්තත් නුඹටවත් නුඹගේ ස්වාමි දියණියටවත් ඒ පිළිබඳ කිසිඳු වගක් නැත. මම් අඩුම තරමින් මෘදු ආමන්ත්‍රණයක්වත් නොලද්දෙමි. සෙනෙහසින් ලියූ වචන කිහිපයකින් යුතු හසුන් පතක්වත් නොලද්දෙමි. කුදිය, මම් නුඹෙන් අසන්නේ නුඹට නුඹේ ස්වාමි දියණියගේ හදවත මා කෙරෙහි මෘදු කර දිය නොහැක්කේද? ඇගෙන් මා යහපත් වචනයක් අසන පරිද්දෙන් නුඹට කිසිවක්ම කල නොහැකිද?”
කුස මහ රජු කුසාවතිය හැරදමා පබාවතී නිසා මධුරටට පැමිණ සත් මසක් ගත වී ගියේය. ඉන් මහරජ පබාවතිය දුටු කාලයට වඩා නොදුටු කාලයම වැඩිය. සකල ජම්බුද්වීපයටම අධිපති වූ මහා තේජස් ඇති මහා කාය බල ඇති මහානුභාවසම්පන්න අප මහ බෝසත් කුස මහරජු පබාවතී නම් සංසාරගත ප්‍රිය පතිනිය පිළිබඳ නිර්ව්‍යාජී අකලංක සෙනෙහසින් හා ප්‍රේමයෙන් යුතුව මහා දුක් අනුභව කරමින් මෙසේ බොහෝ මාස ගණනක් මධුරට වාසය කල සේක.
ඒ කාලය පුරාවට කුස මහ රජු සුව නින්දක් නොලැබුවේය. ප්රණිත බොජුන් තබා අඩුම තරමින් කුස පිරෙන ප්රමාණයටවත් බොජුන් නොලැබුවේය. රාජ සුකොමාල ශ්‍රී ශරීරය ක්ලාන්ත වී ගියේය. දුර්වල වී ගියේය. පබාවතිය නොදුටු සිත ඊටත් වඩා දුර්වල වී ගියේය. මහරජුට හදිසියේම තම දෙමාපියන් සිහි විය. මෙතරම්ම කාලයක් දැඩි අධිෂ්ඨානයකින් බොහෝ දුක් ගනිමින් සිට හදිසියේම සිත උකටලී වී ගියෙන් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුගේ පඬුපුල් අසුන උණු වී ගියේය. හේ කුස මහරජුට නැවතත් පබාවතිය ලැබෙනාකාරයෙන් කටයුතු පිළියෙල කලේය
රාජ්‍ය සතක රජවරුන් සත් දෙනෙකු හට හසුන්පත් සතක් යැව්වේය. මධුරජුගේ රාජකීය මුද්‍රාවෙන් යුත් ඒ හසුන්පත්වල මෙසේ ලියා තිබුනි.
‘මධුරට සාගල නුවර මධු රජුගේ අතිශය ශෝබාමත් පබාවතී නම් ජේෂ්ඨ දියණිය කුස මහ රජු හා පැවති විවාහය අවසන් කොට නැවතත් සිය මා පියන් වෙත පැමිණ සිටී. ඉදින් ඔබ අප හා සරණ මංගල්‍යකට කැමති නම් වහා පැමිණ අපගේ දියණිය පාවා ගෙන යන්න’
හසුන් පත දුටු සැනින් රජවරු සත් දෙනාම විවාහයට සූදානම්ව මහා පිරිවර සේනා සහිතව කල් නෑර පැමිණ සාගල නුවර වටා කඳවුරු බැඳ ගත්හ. රජවරුන් සත් දෙන තම තමන් දැක ආ කාරණය විමසූ කල්හී සියලු දෙනාම එකම කාරණයකට පැමිණ ඇති බව දැන කිපී ගත්හ. මධුරජ විසින් තමා වංචාකොට ඇති බව සිතා ‘හොඳින් හෝ නරකින් පබාවතිය ලබා ගනීමී’යි රජවරුන් සත්දෙන වෙන වෙනම යුද්ධ ප්‍රකාශ කොට මධුරජුට හසුන්පත් යැවූහ.
මධු රාජ මාළිගය එකම සංත්රාසයකින් ඇලලී ගියේය. විසඳුමක් නැති තැන තීරණය වූයේ පබාවතිය සත් කඩ කොට රජවරුන් සත් දෙනාට ලබා දී භයානක සටනකින් මධු රාජ්‍ය වැනසී යාම වලක්වා ගැනීමය.
මරණ බියෙන් තැතිගත් පබාවතියට කුස රජුගෙන් පිහිට පැතීම හැර අන් පිහිටක් නොවීය. ඈ බොහෝ තැති ගත්තාය. සිරුර වෙව්ලා ගියේය. රන්වන් ශරිරය අව්වේ දා ගිය පුෂ්පයක් සේ විය. සත් මසක් පුරාවට සඟවා සිටි කුස මහරජු පිළිබඳ කාරණය ඈ මා පියන් ඉදිරියේ හෙලි කලාය. මුළුතැන් ගෙයි මිදුලෙහි කැසපට ගසාගෙන වලං සෝදමින් සිටින කුස මහ රජුන්ව තම දෙමාපියන්ට දක්වා සිටියාය. ඒ දුටු වහාම මධු රජ දිවගොස් කුස මහරජුගේ දෙපා මුල වැඳ වැටී සමාව අයදිමින් හඬා වැටුනේය.
“අහෝ අපගේ දේවේන්ද්‍රයෙනි, ගැත්තාට අනුකම්පා කල මැනව. මේ සිටින්නේ අපගේ මහා රාජයන් වහන්සේ වග අප කිසි විටකත් දැන නොසිටියෙමු. දැන සිටියානම් මේ පබාවතියගේ කෙහෙ වැටියෙන් අල්ලා ඔබ වහන්සේගේ පා මුල හෙලා අපි ඔබ වහන්සේටම ඈ බාර කරන්නෙමු. අහෝ! අප විසින් නොදැන කල වරදට සමාව දෙන සේක්වා.”
සියල්ල සන්සුන්ව අසා සිටි කුස මහරජු මෙසේ සිතීය. ‘ඉදින් මම දැඩි වුවහොත් සැරෙන් කතා කලහොත් මේ අසරණ රජු ළය පැලී මියැදෙන්නේය. එනිසා මම මෘදු බසින් ආමන්ත්‍රණය කරන්නෙමී. මම මොහු අස්වසාලන්නෙමි’
කුස මහරජු මෙසේ කිවේය
” දේවයිනි, අරක්කැමියෙකු ලෙස මා මෙහි සිටියත් එය මා වැන්නෙකුට ගැලපෙන්නක් නොවේමය. මා වැන්නන්ට එය නුසුදුසුමය. ඒ පිළිබඳ මා හට සමාවුව මැනවී. මෙහිලා ඔබගෙන් මා හට වූ දෝසයක් නැත”
පබාවතිය කුස මහ රජු පාමුල කපාහෙලූ කනක රුවක් සේ වැටී ගති. ඈ බිම වැටි උජ්ජායනා කරන්නී මහ රජුගේ දෙපා අල්ලා රජු පාමුල සිරසින් වැඳ වැටෙමින් සමාව අයැද සිටියාය. නොයෙකුත් ආකාරයෙන් සමාව අයැද සිටියාය.
“දේවයන් වහන්ස, මේ තාක් කාලයක් මම් ඔබ වහන්සේට අප්‍රිය වූ දේම කළෙමි. මම එය ඇත්තක් බව පිළිගනිමි. නමුත් මහා රාජයන් වහන්ස, මින් මතුවට මම එබන්දක් නොකරන්නෙමි. කරනවා තියා සිහිනෙකුදු මා නොසිතන්නෙමි. මින් මතු ඔබ වහන්සේ අප්‍රිය කිසිවක් මා නොකරනා බවට මම් සපථ කරමි. අහෝ මා කියන්නක් අවිශ්වාසයෙන් බැහැර නොකොට විශ්වාසයෙන් අදහා ගනු මැනවි”
ඒ අසා කුස මහ රජු ‘ ඉදින් මම රළුව ගියොත් ඇගේ ළය පැලෙන්නේය. එනිසා මම ඇය අස්වසාලමී’ යි මෙසේ කීය.
“පබාවතිය, නුඹ ඔතරම්ම දේවල් කිව යුතු නොවේ. මා ඔබගේ බස් අදහා ගන්නෙමි. එහි සැකයක් නොසිතව. මා නුඹ ගැන කිපුනේද නොවෙමි. ඉතින් පබාවතිය. නුඹ බිය නොවව!
රාජ පුත්‍රීය, මා කියන්නක් අසව. මාද නුඹ අප්‍රිය බොහෝ දේ බොහෝ වර කලෙමි. ඒ පිළිබඳ දෝශය මා අතේය. මාහට කමා කල මැනව. මින් මත්තට නුඹට අප්‍රිය වූ කිසිවක් මා නොකරන්නෙමි. මාගේ වචනය පිළිගත මැනව.
පබාවතිය, මෙහි පැමිණ නුඹව බලහත්කාරයෙන් නමුත් ගෙන යන්ට මට ඕනෑ තරම් අවකාශ තිබෙද්දීත්, ශක්තිය තිබෙද්දීත් මා කැමැත්තෙන්ම නුඹ ලබා ගනු පිණිස සියලු දුක් අනුභව කළෙමි. සියල්ල ඉවසා සිටියෙමි.”
මෙසේ මධු රජ හටත් පබාවතියටත් රජ ගෙයි සියලු ජනයාටත් අස්වැසිලි ලබා දී අපගේ බෝසත් කුස මහරජු මධුරජ දෙස බැලීය. තමන් වහන්සේ දැන් පැන් පහසුව ලබා පිරිසිදු විය යුතු බවට දුන් ඉඟියක් බඳු ඒ බැල්මෙන් සියල්ල වටහා ගත් මධුරජ ඊට අවශ්‍ය කටයුතු විධානය කලේය. සැනෙකින් පිරිවර ජනයා එක් රැස්ව මගුල් කපුවා පෙරටුකොට වට තිර අද්දවා, කුස මහරජුන් සුවඳ පැනින් ස්නානය කරවා, රාජ වස්ත්‍රාභරණයෙන් සරහාලන ලදී. දෙදෙවු ලොවට අධිපති සක් දෙවිඳු මධු රාජමාළිගයට පැමිණියාක් බඳු සිරියකින් හොබනා කුස මහරජුගේ රාජ ඉර්ධියෙන් අවශේෂ සියලු යානාද, ඇත් අස් රිය පාබල සේනාදීන්ද මොහොතකින් අවශ්‍ය පරිදිම සැරසී මහරජු පිරිවරා ගත්හ. සිංහස්වර ඇති අපගේ බෝසත් කුස මහරජු රාජකීය හස්ථි රාජයා පිට නැගී පබාවතියද එහි නංවා ගත්තේය. පබාවතිය ඉල්ලා යුද්ධයට සැරසී හුන් සත් රජවරුන් කඳවුරු ලා සිටි යුධ භූමියට, කේසර සිංහ රාජයකු මහ වනයෙන් එළියට අභීතව පිටත් වන්නාක් සේ වචනාතික්රාන්ත තේජසකින් යුතුව සිංහ ගර්ජනා කරමින් චතුරංගනී සේනාව පිරිවරාගෙන රජු මාළිගයෙන් පිටත්ව ගියේය.
ඇත් කඳ පිට වඩිනා කුස මහනිරිඳුන් ඈතින් දකිත්ම සත් රජවරුන්ගේ සියොලඟ දහදියෙන් තෙත් වී ගියේය. පිරිවර ජනයා ගල් ගැසී ගියහ. එකෙනෙහිම අපගේ බෝසත් කුස මහරජු සිංහස්වරයෙන් ‘අහං කුසෝ’ (එම්බා…මම කුස රජ වෙමි)යි ගර්ජනා කල සේක. තෙවරක්ම ගර්ජනා කල සේක.
කුස මහ රජුගේ සිංහස්වර ගර්ජනාව ඇසෙත්ම සත් රජවරුන් ඇතුලු ඔවුන්ගේ සකල පිරිවර ජනයා හුන්හිටිතැන් අමතක වී හිස් ලූ ලූ අත පලා ගියහ. ඇත් අස් සේනා වසුරු හෙලමින් සී සී කඩ දිව ගියහ. යුද්ධයක් නැත්තේම මහා යුද්ධයක් වූ තැනෙක මෙන්ද සුර-අසුර යුද්ධයේදි සක් රජුන් ඉදිරියේ අසුර සේනාවෝ පැරදී බිඳී පලා යන්නාක් සේද ඒ භූමි ප්‍රදේශය එකම කෝලාහලයකින් ඇලලී ගියේය. අපගේ කුස මහරජුන්ගේ ධීර වීර බල පරාක්‍රමය දුටු සක් දෙව් රජ ඒ මොහොතෙහිම ‘වේරෝචන’ නම් දිව්‍යමය මාණික්‍ය අපගේ කුස මහරජුන්ගේ ගෙලෙහි පැළැන්දවීය. ඒ මැණිකෙහි ආනුභාවයෙන් එකම රිය මත සිටිනා කුස-පබාවතී දෙදෙනා එකම පැහැයෙකින් එකම රූපයකින් එකම ශෝභාවකින් ඔවුන් ඔවුනොවුන් උදෙසාම මවාලූවාක් සේ අතිශය සුන්දරව පෙනෙන්ට ගත්තේය.
පළාගිය සත් රජවරුන් අල්ලා කුස මහරජුත් මධු රජුත් ඉදිරියට පමුණුවන ලදී. එවිට මධු රජ කුස මහරජු හට මෙසේ කීවේය.
“දේවයන් වහන්ස, මේ පිරිස ඔබ වහන්සේගේ සතුරෝය. ඔබ වහන්සේම අපට අධිපති වන සේක. එනිසා මොවුන් නැසීම හෝ මුදවීම ඔබ වහන්සේ සතුය. අපට ඔබ වහන්සේගේ කැමැත්ත පමණක් වදාල මැනව. අප ඒ අයුරින් පිළිපදින්නෙමු.”
සියළු සත හට හිතානුකම්පී අපගේ බෝසත් කුස මහ රජු ඉතා නිවුණු ස්වරයෙන් මෙසේ පිළිතුරු දුන් සේක.
“දේවයිනි, නුඹ හට දිව්‍ය අප්සරාවන් බඳු රාජ දියණිවරුන් සත් දෙනෙකු ඇත. ඉතින් ඔබ ඔවුන්ව මේ රජවරුන් හට භාර්යාවන් කොට දෙන්න. මේ සත් රජවරුන් ඔබගේ ප්‍රිය බෑණාවරුන් වෙත්වා”
එය එසේම විය. මධු රජ ඉතාමත්ම සතුටින් කුස මහ රජුන්ගේ අදහස පරිදි පබාවතියගේ නැගණිවරුන් සත් දෙන සත් රජවරුන් හට පාවා දෙන ලදී.
අපගේ බෝසත් කුස මහ රජු මහා රාජ ඉර්ධීන් මධ්‍යයේ දිනාගත් පබාවතියද සමගින් යලි කුසාවතී රාජ්‍යට සැපත් වී වදාල සේක. එතැන් පටන් කුස-පබාවතී යුවල පති-පතිනි ධර්මයන්හී මනාව පිහිටමින් දානාදී බොහෝ කුසල ධර්මයන්හි යෙදෙමින් බොහෝ ස්නේහයකින් හා එකිනෙකා පිළිබඳ මනා ගෞරවයකින් යුතුව වාසය කරමින් සිට මරණින් මතු දෙවියන් අතරට එක් වූහ.