ගාථා නවය බැගින් වදාළ කොටස

වඩ්ඪමාතා තෙරණියගේ ගාථා

පුතේ වඩ්ඪ, මේ ලෝකය තුළ ඔයාට කෙලෙස් වනයක් නම් හටගන්ට එපා! පුතේ, ආයෙ ආයෙමත් උපදින මේ දුකට නම් හිමිකාරයෙක් වෙන්න එපා!

වඩ්ඪ, කෙලෙස් නැති කරපු, සැකසංකා නැති කරපු මුනිවරු සැප සේ වාසය කරනවා. ඒ නිකෙලෙස් මුනිවරු දමනය වෙලා සිසිල් වෙලා ඉන්නෙ.

වඩ්ඪ, ඔයත් ඒ ඉසිවරුන් පුරුදු කරපු මාර්ගයේ යන්න. ධර්මාවබෝධය කරගන්න. දුක් අවසන් කිරීම පිණිස පුහුණු වෙන්න.

අම්මේ, මට ඔයා ධර්මය කියා දෙන්නෙ විශාරද කෙනෙක් විදියට. මගේ අම්මේ, ඇත්තෙන් ම ඔයා තුළ කෙලෙස් වනයක් දැකගන්ට නෑ.

වඩ්ඪ, ලාමක, උසස්, මධ්‍යම කිසි ම සංස්කාරයක් ගැන අණුවක ප්‍රමාණයෙන් වත්, අනුමාත්‍රයක ප්‍රමාණයෙන් වත් තණ්හාවක් මං තුළ නෑ.

මං අප්‍රමාදී ව ධ්‍යාන වැඩුවා. මගේ සිතේ තිබුණ ඔක්කොම ආශ්‍රවයන් ගෙවිල ගියා. ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඇත්තෙන් ම මගේ අම්මා ඒ කිව්වේ, ශ්‍රේෂ්ඨ වචනයක් ම යි. මහත් අනුකම්පාවෙන් උතුම් අර්ථ ඇති මට අවවාද කළා.

අම්මා කියා දුන්න උතුම් වචන අසා දැනගත්තා. ඒ අනුශාසනාවේ පිහිටියා. නිවන් අවබෝධ කර ගැනීම පිණිස සංවේග උපදවා ගත්තා.

දිවා රෑ දෙකේ ම මං ගොඩක් මහන්සි වුණා. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුණා. ධර්ම සංවේගය උපදවා ගත්තා.

ගාථා එකොළහ බැගින් වදාළ කොටස

කිසාගෝතමී තෙරණියගේ ගාථා

අපගේ මුනිඳුන් කළ්‍යාණ මිත්‍ර සේවනය වර්ණනා කළේ ලෝකයේ යහපත පිණිස ම යි. කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන මෝඩ තැනැත්තා පවා නුවණැත්තෙක් වෙනවා.

ආශ්‍රය කරන්ට ඕන සත්පුරුෂයන්වමයි. සත්පුරුෂ ආශ්‍රයෙන්මයි ප්‍රඥාව වැඩෙන්නෙ. සත්පුරුෂයන් ආශ්‍රය කරන කෙනා සියළු දුකින් නිදහස් වෙනවා.

සත්පුරුෂ ආශ්‍රය තියෙන කෙනා දුක අවබෝධ කරනවා. දුකේ හටගැනීම ප්‍රහාණය කරනවා. දුකේ නැතිවීම සාක්ෂාත් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා.

පුරිසදම්මසාරථී වූ බුදු සමිඳුන් වදාළේ ගැහැණියකගේ ජීවිතය දුක් සහිතයි කියලා. එක ස්වාමියෙකු යටතේ සමාන බිරිඳන් වශයෙන් සිටීමත් දුකක්. ඇතැම් කාන්තාවන් එක වතාවයි දරුවන් වදන්නෙ.

වේදනාව ඉවසගන්ට බැරිව බෙල්ල කපා ගන්නවා. ඒ සියුමැලි කාන්තාවන් වහ කාලා මැරෙනවා. සමහර විට මව්කුසේ දරුව හිරවෙලා දෙන්නම මැරෙනවා.

බබා හම්බ වෙන්ට ළඟ බව මටත් තේරුණා. ඉතින් මං ගෙදර යන්ට පිටත් වුණා. ගෙදර යන්ට ලැබුණේ නෑ. අතරමග දී බබා හම්බ වුණා. අතරමගදීමයි මගේ සැමියාත් මැරිල ඉන්නවා දකින්ට ලැබුණෙ.

දුකට පත්වෙලා හිටිය වෙලාවෙ මගේ දරුවො දෙන්නත් මළා. සැමියාත් මළා. අම්මයි, තාත්තයි, සහෝදරයයි එකම දර සෑයෙ දැවෙනවා මට දකින්ට ලැබුණා.

සම්පත් නැතිවෙලා ගිය දුප්පත් පවුලක උපන් තැනැත්තී, ඔයා අප්‍රමාණ දුක් විඳපු කෙනෙක්. සංසාරෙ දහස් ගණන් උපන් වාරවල දී ඔයා තුළ තිබුණෙ කඳුළුමයි.

සංසාරෙ ගෙවද්දි සොහොන්වල වාසය කළා. තමන්ගේම දරුවන්ගෙ මස් කෑවා. හැමෝම මාව එළව ගත්ත. පවුල් විනාශ වුණා. සැමියා මැරුණා. නමුත් මමත් නිවන් දැක්කා.

අමා නිවනට මාර්ගය වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි වැඩුවේ. නිවන සාක්ෂාත් කරගත්තා. මං මේවා ඔක්කොම දහම් කන්නාඩියෙන් බලනවා.

මං දැන් ඒ ශෝක හුල් ඔක්කොම උදුරා දැම්මා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. කළ යුතු දේ කරගත්තා. මේ දේවල් කියන්නෙ කෙලෙස්වලින් නිදහස් වුන සිතක් තියෙන කිසා ගෝතමී තෙරණිය යි.

ගාථා දොළොස බැගින් වදාළ කොටස

උප්පලවණ්ණා තෙරණියගේ ගාථා

අපි දෙන්න අම්මයි, දුවයි. එක ම ස්වාමියගෙ භාර්යාවන් වෙලා හිටියා. මේ සිදුවීම මගේ ජීවිතේ අද්භූත වූ ත් ලොමුදහ ගැන්වෙන සිදුවීමක් වුණා.

මේ කාමයන්ට නින්දා වේවා. මේ කාමයන් ඇත්තෙන් ම අපිරිසිදු යි. ගඳ යි. ගොඩාක් කරදර ඇති කරනවා. මේ කාමයන් නිසාමයි අම්මටයි, දූටයි එකම ස්වාමියාගේ භාර්යාවන් වෙන්ට සිදුවුණේ.

මං මේ කාමයේ ආදීනව දැක්කා. කාමයන්ගෙන් නිදහස් වීම කෙම් බිමක් වශයෙනුත් දැක්කා. ඊට පස්සෙ ඈ රජගහනුවර දී මහණ වුණා.

මං දැන් පුබ්බේනිවාස ඤාණයත් ලබාගත්තා. දිවැස් නුවණත් පිරිසිදු කරගත්තා. අනුන්ගේ සිත් දැනීමේ නුවණත් ලබා ගත්තා. දිව්‍ය කනත් පිරිසිදු කරගත්තා.

ඉර්ධි බලත් ලබාගත්ත. අරහත්වයටත් පත්වුණා. මං මේ අභිඤ්ඤා හයම ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. 

මං ඉර්ධි බලයෙන් අශ්ව කරත්ත හතරක් මවා ගත්තා. ලෝකනාථ වූ අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් බැහැදකින්ට ගියා. ඒ සිරිපා කමල් වැඳ පුදා ගත්තා.

(මාරයා) ඔයා ඔය තනියම ඉන්නෙ, අතු අග පටන් පිපී ගිය මල් තියෙන සල් ගහක් සෙවණේ. ළඟපාතක වෙන කව්රුවත් නෑ. ඒයි මෝඩ කාන්තාව, සල්ලාලයන් ගැන ඔයාට බයක් නැද්ද?

(ඒයි මාරය) ඔය සල්ලාල ජනයා සිය දහස් ගණනක් ආවත් මගේ ඇඟේ එක ලොම් ගහක් වත් බයෙන් සැලෙන්නෙ නෑ. කම්පා වෙන්නෙ නෑ. මාරය, මං හුදෙකලාවේ සිටීම ගැන උඹට මොකටද?

මාරය, මට උඹ ඉදිරියේ අතුරුදහන් වෙන්ට පුළුවන්. උඹටත් හොරෙන් උඹේ කුසට රිංගන්ට පුළුවන්. ඇහි බැම දෙක අතරේ ඉන්ට පුළුවන්. මං එහෙම ඉන්නකොට මාව දැකගන්ට උඹට හැකියාවක් නෑ.

මට තියෙන්නෙ දමනය කරපු හිතක්. මං ඉර්ධිපාද වඩපු කෙනෙක්. මං අභිඤ්ඤා හයම සාක්ෂාත් කරල ඉන්නෙ. මං බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

කාමයන් කියන්නෙ විස පොවාපු ආයුධ වගේ දෙයක්. උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්. උඹ ඔය කියන කාමරතිය මට දැන් අරතියක්.

මං හැම දෙයක් ගැන ම තිබුණ තණ්හාව නැති කළා. අවිද්‍යා අන්ධකාරය බිඳල දැම්මා. මාරය, ඔන්න ඔය විදිහට යි ඔය කරුණ තේරුම් ගත යුත්තේ. මාරය, ඔය කරුණේ දී නැසුණේ ඔබ ම යි.

ගාථා දහසය බැගින් වදාළ කොටස

පුණ්ණා තෙරණියගේ ගාථා

මං සීතලේ ම වතුර ඇද්දා. හැම තිස්සේ ම වතුරට බැස්සා. එහෙම කළේ ස්වාමි දරුවන් ගෙ දඬුවම්වලට බයෙන්. බැණුම් අහන්ට බයෙන්. මගෙන් වරදක් වෙයි කියන බයෙන්.

ඒත් බ්‍රාහ්මණය, ඔබ කාට බය වෙලා ද හැමදා ම ඔය වතුරට බහින්නෙ? අතපය වෙව්ල වෙව්ල අධික සීතලෙන් දුක් විඳින්නෙ කාට බයෙන් ද?

පුණ්ණා, මගෙන් ඕක අහන්ට ඕන දැනගෙන ම නේද? මං මේ කරන්නෙ පව් සෝද සෝද කුසල් රැස්කරන එක නේ.

මහල්ලෙක් හරි, තරුණයෙක් හරි, එයා පව් මොනව හරි කරල තියෙනවා නම්, ඒ පව්වලින් නිදහස් වෙන්නෙ මේ විදිහට ජලස්නානය කිරීමෙනුයි.

බ්‍රාහ්මණය, කර්මයන්ගේ විපාක දෙන ස්වභාවය නොදන්නා ඔබට, ඔය විදිහට ජලස්නානයෙන් පාප කර්මවලින් නිදහස් වෙන්ට පුළුවන් කියල ඔබට කියපු, කර්මයන්ගේ විපාක දෙන ස්වභාවය දන්නෙ නැති කෙනා කවුද?

ඕක ඇත්ත නම්, මේ ඔක්කොම ගෙම්බො, කැස්බෑවො, කිඹුල්ලු, වතුරේ ඉන්න අනෙක් සත්තු ඔක්කොම ඒකාන්තයෙන් ම ස්වර්ගයට යනවා.

ඕක ඇත්ත නම්, එළුවන් මරණ අය, ඌරන් මරණ අය, මාළුන් මරණ අය, මෘගයන් මරණ අය, සොරු, අළුගෝසුවෝ, තවත් පව් කරපු අය ඔක්කොටම කරන්න තියෙන්නෙ ජල ස්නානයෙන් පව් හෝදල දාන එක නෙ.

ඔබ කරපු පව් හෝදන්ට මේ ගංගාවලට පුළුවන් නම්, ඔබ කරපු පිනුත් මේ ගංගාවල් විසින් හෝදල දමාවි. එතකොට ඔබ දැන් පින්වලින් ද බැහැර වුණ කෙනෙක්.

බ්‍රාහ්මණය, ඔබ පව්වලට ඇති බිය නිසා නෙ මේ හැම දා ම මේ වතුරට බහින්නෙ. බ්‍රාහ්මණය, ඔබ පව් නොකර ඉන්න. මේ සීතල වතුර ඔබේ සමට පීඩා දෙන්න එපා!

පින්වතී, ඇත්තෙන් ම මං හිටියෙ නොමගට වැටිලා. මේ වතුර නෑමෙන් මාව නිදහස් කරගෙන ආර්ය මාර්ගයට පැමිණෙව්වෙ ඔබ යි. මං ඔබට මේ සළුපට දෙනවා.

බ්‍රාහ්මණය, සළුපට ඔබ තියාගන්න. මං සළුපටක් ගන්ට කැමැති නෑ. ඉදින් ඔබ දුකට බිය නම්, දුකට අකමැති නම්,

රහසේ හෝ එළිපිට හෝ පව් කරන්ට එපා! ඉදින් ඔබ අනාගතේ පව් කරනවා නම්, දැන් පව් කරනවා නම්,

කොයිතරම් දැන ගෙන පැනල යන්ට හැදුවත් ඒ දුක් විපාක වලින් නිදහස් වෙන්ට බෑ. ඉදින් ඔබ දුකට බය නම්, දුකට අකැමැති නම්,

අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්වත්, සද්ධර්මයත්, ආර්ය සංඝරත්නයත් සරණ යන්න. සිල් සමාදන් වෙන්න. ඔබට ඒක ගොඩාක් යහපත පිණිස පවතීවි.

පින්වතී, ඔව්, අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්වත්, සද්ධර්මයත්, ආර්ය සංඝරත්නයත් මං සරණ යනවා. සිල් සමාදන් වෙනවා. මට ඒක ගොඩාක් යහපත පිණිස පවතීවි.

මං බ්‍රාහ්මණ කුලේ ඉපදුණු නිසා බ්‍රහ්මබන්ධු කියල මට කිව්වා. නමුත් මං ඇත්තට ම බ්‍රාහ්මණයෙක් වුණේ දැනුයි. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. නිවනට පත්වුණා. යහපතට පත්වුණා. කෙලෙස් සෝදල දැම්මා.