ඛුද්දක නිකාය | විමානවත්ථු
ලතා විමානය
ශ්‍රීමත් සක්දෙවිඳුන්ටත් වෙසමුණි දෙව් රජුටත් දිව්‍ය දෝණිලා ඉන්නවා. ඔවුන්ගේ සිරුරු බබලනවා. ලතා, සජ්ජා, පවරා, අච්චිමුඛී, සුතා ආදී දිව්‍යාංගනාවන් යහපත් ගතිගුණ නිසාමයි බබලන්නෙ. දවසක් මේ දිව්‍යංගනාවන් පස් දෙනා හිමාල පෙදෙසේ සුන්දර නදියකට දිය නෑමට ගියා. ඒ නදියේ වතුර හරිම සීතලයි. නිලුපුල් පිපිල තියෙනවා. ඉතින් ඒ දිව්‍යංගනාවන් ඒ නදියෙන් වතුර නෑවා. සතුටු වුනා. නැටුවා. සිංදු කිව්වා. එතකොට සුතා දෙව්දුව ලතා දෙව්දූට මෙහෙම කිව්වා.
“පින්වතී, ඔයාට රන්වන් සමක් තියෙනවා. රන්වන් මලින් සැරසිලා ඉන්නවා. මහනෙල් මල් මාලාවන් පැළඳ ඉන්නවා. තඹ පාට ලස්සන ඇස් දෙකක් තියෙනවා. සරත් කාලයෙහි ආකාසේ වගේ ලස්සනයි. දීර්ඝායුෂ තියෙනවා. ඇත්තෙන්ම ලතා ඔයාට මේ යසස් ලැබුනේ මොන වගේ පිනක් කරලද? සුන්දරී, තම ස්වාමියාට එතරම්ම ප්‍රිය මනාප වුනේ මොන වගේ පිනක් කරලාද? ඔයාගේ රූප සෝභාව නම් අතිවිශිෂ්ටයි. නැටුම් ගැයුම් වැයුම්වලට හැබෑම හපනියක්. දෙවිවරු දිව්‍යාංගනාවන් ඔයාගෙන් අහන දේ අපට කියන්න.”
“මං ඒ කාලෙ මනුස්ස ලෝකෙ මිනිස් දුවක් වෙලා හිටියේ. මං හරි ධනවත් පවුලක ලේලියක් වෙලා හිටියා. මං ක්‍රෝධ කළේ නෑ. ස්වාමියාට කීකරු වුනා. උපෝසථ සිල් රකින්ට පමා වුනේ නෑ. ඉතින් ඒ මනුස්ස දුවගෙ කාලෙ හොඳ යෞවන වයසේදී පතිවත රැක්කා. පහන් සිතින් ස්වාමියා සතුටු වෙන හැටියට ජීවත් වුනා. ඒ වගේම පවුලේ වැඩිහිටියන් නැදිමයිලන් දැසි දස්සන් හැමෝම සතුටු කළා. එහෙදි තමයි මං මේ පින් කළේ. ඉතින් මං ඒ කුසල කර්ම නිසා ආයු වර්ණ සැප බල කියන කරුණු හතරින් අග්‍ර වුනා. මං දැන් අප්‍රමාණ දිව්‍ය ක්‍රීඩාවලින් සතුටු වෙනවා. “
“මේ ලතාවෝ මේ කියන කරුණ කලින් අහලා තිබුණෙ නැද්ද? හැබැයි ඉතින් අපි අහපු කරුණු ඇය හොඳට පැවසුවා. උතුම් කාන්තාවන් වන අපට ස්වාමිවරුන් ගේ වටිනාකම හරි අගේට තේරෙනවා. එයාල තමයි අපේ උතුම් දෙවිවරු. අපේ ස්වාමිවරුන් කෙරෙහි අපි හැමෝම තුළ පතිභක්තිය තියෙනවා. ඒ නිසාමයි අපි පතිවත සුරකින ස්ත්‍රීන් වුනේ. අපි හැමෝම මේ ලතා කියන හැටියටයි පතිවත රැකලා සැප ලබන්නේ. කඳු මිටියාවත්වල සිංහයා ගොදුරු හොයනවා. ඉතින් ඒ සිංහයා ඒ පර්වත මිටියාවත්වල හැසිරෙමින් අනෙක් සිව්පාවන් මැඬගෙන දඩයම් කරනවා. මාංස භෝජනය කර ගන්නෙ දුර්වල සතුන්වයි. ඒ වගේම තමයි ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවිකාවක් වෙලා ධම්මචාරීව ජීවත් වෙනවා නම්, ස්වාමියා නිසාම පතිවත රකිමින් ඉන්නවා නම් ක්‍රෝධය යටපත් කරනවා නම්, මසුරුකම යටපත් කරනවා නම්, ඇය සතුටු වෙන්නෙ ස්වර්ගයේ ඉපදිලයි. “