ඛුද්දක නිකාය | විමානවත්ථු
මල්ලිකා විමානය
“ඔබට ස්වර්ණ වර්ණ වූ දිවසළු තියෙනවා. රන්වන් කොඩි ලෙල දෙනවා. රන් ආභරණවලින් බබලනවා. ඔබ හරිම සුන්දරයි. රන්වන් වස්ත්‍ර නැතුවත් සුන්දරයි. රන්වළලු පැළඳ ඉන්නවා. රනින් කළ මල් කළඹක් හිස දරා ඉන්නවා. රන්වන් දැලකින් සිරුර වසා ඉන්නවා. මැනික් මාලයක් පැළඳ ඉන්නවා. කවුද ඔබ?
විවිධ මාලයන් දරාගෙන ඔබ විචිත්‍ර වෙලා ඉන්නවා. ඔබ පැළඳ ඉන්නවා රන්වන් මල් මාලා, පත්මරාග මැණික් මාලා, මුතුමාලා, වෛරෝඩි මල් මාලා, මැසිරිගල් මාලා, රතුමැණික් මාලා, පරෙවි ඇස් වැනි මැණික් මාලා ඔබ පැළඳ ඉන්නවා. මේ මැණික් මාලාවලින් හරි අපූරු නාද දෙනවා. ඇතැම් මාලාවලින් මොණරුන්ගේ නාදය, ඇතැම් මාලාවලින් හංසයන්ගේ ගිගිරි නාද දෙනවා. ඇතැම් මාලාවලින් කෝකිල කූජන නාද දෙනවා. ඒ මනහර නාද ඇහෙන්නේ පංචාංගික තූර්ය නාදයක් වගේ.
ඔබේ දිව්‍ය යානාවත් විවිධ විචිත්‍ර මැණික්වලින් සරසලා තියෙනවා. මනස්කාන්තයි. සෝභාසම්පන්නයි. ඒ ඒ සැරසිල්ලට ඒ ඒ පාටට ගැලපෙන විදිහට ලස්සනට බෙදලා නිසා සෝභමානයි. ස්වර්ණ බිම්බයක් වන් ඒ සොඳුරු දිව්‍ය රථයේ ඔබ ඉන්න කොට මේ පළාතම බබලනවා. පින්වත් දෙව්දුව, දැන් අපි අහන්නෙ මේකයි. මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්ට මොන වගේ පුණ්‍යකර්මයක්ද ඔබ කළේ?”
“අප්‍රමාණ ගුණස්කන්ධයක් තියෙන ගෞතම සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ මං සිත පහදවා ගෙන රන් දැලක් සකස් කළා. රන්රුවනින් සැරසුවා. මුතු පැළැන්දුවා. ඊට පස්සෙ මං ඒ රන් දැල බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ඒ කුසල් තමයි මං කළේ. ඒ නිසයි සෝකයක් නැතුව ලෙඩක් නැතුව සැප සේ මං දැන් සතුටු වෙන්නෙ.”