ඛුද්දක නිකාය | විමානවත්ථු
හතරවෙනි පීඨ විමානය
පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. වෛරෝඩි මාණික්‍යයෙන් කළ එකක්. ඔබ කැමැති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.
මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
(පින්වත් ස්වාමීන් වහන්ස,) මං කලින් ජීවිතයක කරගත්තු යම්කිසි පිනක් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ආනුභාවයකින් මාව දිළිසෙන්නේ. කලින් මනුස්ස ජීවිතයේදී මං කරගත්තේ ඉතා පොඩි පිනක්.
මට භික්ෂූන් වහන්සේ නමක් දැකගන්න ලැබුනා. උන්වහන්සේ කිසි කැළඹීමක් නැති භික්ෂුවක්. පුදුමාකාර ශාන්තභාවයක් තිබුනේ. කෙලෙස් රහිත සිත් ඇති කෙනෙක්. මගේ සිත ගොඩාක් පැහැදුනා. මගේ දෑතින්ම උන්වහන්සේට වැඩසිටින්නට මං පුටුවක් දුන්නා.
ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.