ඛුද්දක නිකාය | විමානවත්ථු
මඤ්ජෙට්ඨක විමානය
“ඔබේ විමානය තද තැඹිලි පාටයි. මිදුලේ අතුරලා තිබෙන්නේ රන්වන් වැලි. පංචාංග තූර්ය නාදය හරි අගේට වාදනය වෙනවා නෙව. ඔබ එයට ඇලෙන්නෙ සතුටින්. මැණික්වලින් හැදුන ඒ දිව්‍ය විමානයෙන් ඔබ බහිනවා. හැම කාලෙකම ලස්සන මල් පිපුන සල් වනයටයි ඔබ එන්නෙ.
පින්වත් දෙව්දුව, ඔබ යම්ම සල්රුක් මුලකට ගියොත් හරි අපූරු දෙයක් වෙනවා. ඒ උතුම් සල් රුක් පහළට නැමිල ඔබ මත මල් හෙළනවා. ඒ සාලවනයේ සල් රුක් සුළඟින් සෙළවෙන්නෙ ලතාවකටයි. ලස්සන කුරුල්ලන් ඒ හැමතැනම ඉන්නවා. දස දිසාවටම සුවඳ හමා යන්නෙ මඤ්ජුස්සක රුකක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුනේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද?”
“මං ඉස්සර මිනිස් ලෝකෙ මනුස්ස දුවක් වෙලා හිටියෙ. ස්වාමියාගේ නිවසේම මම දාසියක් වුනා. අපේ නිවසට වැඩිය බුදුරජාණන් වහන්සේ දැකල සල් මල් විසුරුවල උන්වහන්සේට පූජා කළා. මගේ හිත හරියට පැහැදුනා. ඉතින් මං සල් මල්වලින් ගොඩාක් ලස්සනට මුදුන් මල් කළඹක් හැදුවා. මං ඒක මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ඒ කුසල් තමයි මං කළේ. ඒ නිසයි සෝකයක් නැතුව ලෙඩක් නැතුව සැප සේ මං දැන් සතුටු වෙන්නෙ.”