ඛුද්දක නිකාය | විමානවත්ථු

විහාර විමානය

“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා කන්කලු වූ මනරම් වූ දිව්‍ය නාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශකලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ.

ඔබේ හිසේ මුදුන් මල් කළඹක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කළඹ සැළෙද්දි එයිනුත් මිහිරි නාදය ඇහෙන්නෙ පංචාංගික තූර්යය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නෙ පිපී සුවඳ හමන මඤ්ජුස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුනේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද?”

“ස්වාමීනි, සැවැත් නුවර මගේ යෙහෙළියක් හිටියා. ආර්ය සඟරුවන උදෙසා ඇය මහ විහාරයක් කෙරෙව්වා. මං ඒ ගැන ගොඩාක් සතුටු වුනා.මං ඒ පින අනුමෝදන් වුනා. ඒ ප්‍රාසාදය මං දැක්කා. මටත් ඒ සඟ රුවන ගැන හරි ප්‍රියක් තියෙන්නෙ. මං මේ පින අනුමෝදන් වුනේ පිරිසිදු සිතින්මයි. දර්ශනීය වූ මේ පුදුම සහගත දිව්‍ය විමානය පහළ වුනේ ඒ නිසාමයි. මගේ පුණ්‍ය ඉර්ධියෙන් අහසේ සොළොස් යොදුනක් පුරා මේ විමානය ගමන් කරනවා. ඒ මගේ දිව්‍ය විමානයේ සුවිසාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර බෙදලා තියෙනවා. හාත්පස සතර දිග්භාගයේම ඒ විමානය දිළිසෙනවා.

මෙහෙ ලස්සන පොකුණු තියෙනවා. පතුලෙ තියෙන්නෙ රත්රන් වැලි. වතුර ටික හරිම අගෙයි. හොඳට පෑදිලා තියෙන්නෙ. දිව්‍ය මාළු රංචු මෙහි පීනනවා. ඒ පොකුණේ ලස්සන ලස්සන නෙළුම් පිපෙනවා. සුදු නෙළුම් පිපිල හැම තැනම තියෙනවා. සිනිඳු සුළඟ හමා ගෙන යද්දි හරිම සුවඳයි. එහි ජම්බු තියෙනවා. කොස් තියෙනවා. තල්පොල් තියෙනවා. කවුරුවත් හිටවලා නෑ. නමුත් ඒ විමානයේ එක එක විදිහේ ගස් ජාති පහළ වෙලා තියෙනවා.

නා නා තූර්යය වාදනවලින් මිහිරි සංගීතය පැතිරෙනවා. අප්සරාවන් පිරිවරා ගෙන ඉන්නවා. ඉතින් යම් කෙනෙක් මාව සිහිනෙන්වත් දැක්කොත් ඒ මනුස්සයාට ප්‍රීතියක්මයි ඇති වෙන්නෙ. මේ විදිහේ පුදුමාකාර දර්ශනීය හැම අතින්ම ආලෝකමත් විමානයක් මට ලැබුණේ මං කරගත්තු පින්වලින්මයි. ඒ නිසා පින් කිරීමමයි හොඳ. “

“ඔබේ ඒ පිරිසිදු පුණ්‍යානුමෝදනාවෙන්ම තමයි මේ පුදුමාකාර දර්ශනීය විමානය ලැබුනේ. ඉතින් ඒ විහාරදානය දීපු ස්ත්‍රිය කොහේද උපදින්න ඇත්තෙ? ඇගේ ගතිය කියනවාද? “

“ස්වාමීනි, එයා මගේ යෙහෙළිය නෙව. එයා නෙ ආර්ය සංඝයාට ඒ මහා විහාරය හදවලා පූජා කළේ. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධයක් ඇතුවයි ඈ දන් දුන්නේ. ඇය උපන්නෙ නිම්මාණරතියෙ දෙවියන් අතරයි. දැන් ඈ සුනිම්මිත දෙව්රජුගේ බිරින්දෑ වෙලා ඉන්නේ. ඇගේ පුණ්‍ය විපාකය නම් සිතින් සිතා ගන්ටවත් බෑ. ඇය කොහේද උපන්නෙ කියල නේ මගෙන් ඇහුවෙ. මං ඔබවහන්සේට කිව්වෙ ඇති සැටියෙන්මයි. ඒ නිසා අනිත් උදවියවත් කුසල් දහම්වලයි සමාදන් කරවන්ට ඕන. සතුටු සිතින් යුතුව ආර්ය සංඝයාට දන් පූජා කරන්ට ඕන. සිත පහදවා ගෙනමයි බණ අසන්ට ඕන.

මේ මනුස්ස ජීවිතයක් ලැබීම කියන්නෙ අතිශයින්ම දුර්ලභ වූ ලැබීමක්. තනි රත්තරන් පාටින් යුතු මධුර වූ බ්‍රහ්මස්වර ඇති බුදුරජාණන් වහන්සේ තමයි මේ ශ්‍රේෂ්ඨ වූ යහපත් මාර්ගය වදාළේ. ඒ නිසා යම් කෙනෙකුට පූජා කරන දානය මහත්ඵල උපදවයිද අන්න ඒ දානය සතුටු සිතින් යුතුව ආර්ය සංඝරත්නයටයි පූජා කරන්ට ඕන. බුද්ධාදි සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන ආර්ය පුද්ගලයන් අට දෙනෙක් ඉන්නවා. යුගල වශයෙන් ගත්තොත් යුගල හතරක් වෙනවා.

සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ඒ ආර්යයන් වහන්සේලා දන් පැන් ලැබීමට සුදුසු යි. උන්වහන්සේලාට පූජා කරන දානය මහත්ඵල ලබාදෙනවා. මාර්ගස්ථ පුද්ගලයන් හතර දෙනයි. ඵලස්ථ පුද්ගලයන් සිටින්නෙත් හතර දෙනයි. මේ තමයි සෘජු සිත් ඇති ආර්ය සංඝරත්නය. උන්වහන්සේලා ප්‍රඥා සම්පන්නයි. සීල සම්පන්නයි. සමාහිත සිතින් යුක්තයි. න්පැන් දෙන මිනිස්සු ඉන්නවා. පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නෙ. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබාදෙන්නෙ. මේ ආර්ය සංඝයා වනාහි මහානීය ගුණයෙන් යුක්ත යි. මිණිය නොහැකි ගුණයෙන් යුක්තයි. සාගර ජලය වගේ.

නරවීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසම තමයි ශ්‍රේෂ්ඨ. ධර්මය බෙදා දෙමින් ලෝකය එළිය කරන්නෙ ඔවුන් තමයි. අන්න ඒ ආර්ය සංඝයාට දන් පැන් පූජා කර ගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරි විදිහට දීපු දේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝකවිදූ වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරල තියෙනවා ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිණාව මහත්ඵල ලබාදෙනවා කියල. එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දානය සිහි කරන්ට ඕන. එතකොට එයාලාට හරි සතුටක් ඇති වෙනවා. මසුරුමළ මුලින්ම දුරු කරලා ලෝකයේ ජීවත් වෙන්න පුළුවනි. නින්දා රහිත වූ ස්වර්ග ලොවෙහි උපදින්ටත් පුළුවනි. “