


ඛුද්දක නිකාය | විමානවත්ථු
දීප විමානය
පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබුළුවන ඕසධී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? පින්වත් දෙව්දුව, ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හරිම නිර්මලයි. මොන වගේ පිනකින්ද ඔය තරම් බබලන්නේ? ඔබේ සුන්දර වූ සියලු අඟපසඟින් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලන්නේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා
මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
මං ඒ අතීත ජීවිතයේ මිනිස් ලොවේ මනුස්ස දුවක් වෙලයි හිටියේ. මහා ඝන අන්ධකාරයක් තිබුනා. පහන් ආලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක්. ඉතින් මම ඒ පහන් ලබා දුන්නා.
කවුරු හරි කෙනෙක් ඝන අන්ධකාරය පවතින විට පහන් ආලෝකය අත්‍යවශ්‍ය වන ඒ වෙලාවට පහන් පූජා කරනවා නම් අන්න ඒ කෙනාට ජෝතිරස කියන දිව්‍ය විමානයේ උපදින්නට පුළුවනි.
ඒ විමානයේ ගොඩාක් ලස්සන මල්වර්ග තියෙනවා. සුදු නෙළුම් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. ඒ නිසා මගේ සිරුරෙන් විහිදෙන එළිය හරිම නිර්මලයි. ඒ පින නිසාමයි මෙතරම් බබලන්නේ. ඒ පින නිසාමයි මගේ සුන්දර වූ සියලු අඟපසඟින් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලන්නේ.
මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා