විශේෂ සදහම් දේශනා (VIDEOS)

යසෝදරා කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම | විශේෂ දේශනය

පෑව සෙනේ ලොව සිහින කුමාරිය.. ඔබ මිස වෙන නැති යසෝදරා… යසෝදරා….

අරහත් යසෝදරා තෙරණි ගුණ වරුණ – (උම්මග්ග ජාතකය ඇසුරෙන් කළ දේශනය)- පළමු කොටස

අරහත් යසෝදරා තෙරණි ගුණ වරුණ – (උම්මග්ග ජාතකය ඇසුරෙන් කළ දේශනය)- දෙවන කොටස

අරහත් යසෝදරා තෙරණි ගුණ වරුණ – (ජාතක කථා ඇසුරෙන් කළ දේශනය)- පළමු කොටස

අරහත් යසෝදරා තෙරණි ගුණ වරුණ – (ජාතක කථා ඇසුරෙන් කළ දේශනය)- දෙවන කොටස

‘රාහුල මාතා යශෝධරා’ – උඩුපිල අනගාරිකා අසපුවේ දී කළ දේශනය

ජාතක කථා ඇසුරෙන් | සදහම් දේශනා (VIDEOS)

උදයභද්ද ජාතකය (පිළිබඳ ධර්ම දේශනය)

දශරථ ජාතකය (පිළිබඳ ධර්ම දේශනය)

කුස ජාතකය (පිළිබඳ ධර්ම දේශනය) – මුතුගල අනගාරිකා අසපුවේ දී 

කුම්භකාර ජාතකය (පිළිබඳ ධර්ම දේශනය)

සුසීම ජාතකය (පිළිබඳ ධර්ම දේශනය)

සඳකිඳුරු ජාතකය (පිළිබඳ ධර්ම දේශනය)

සියල්ල නරඹන්න | තවත් බොහෝ දේශනා ශ්‍රවණය කරන්න

‍යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ සම්පූර්ණ ජීවිත කථාව

ඒ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයයි. අපට අද ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සේයි එකල සිටි මිනිසුන්ට දීපංකර බුද්ධ ශාසනය.

එදා රම්‍යවතී නුවර වාසීන්ට බොහොම සුබ දිනයක්. හැම දෙනාම එකා වගේ ලහි ලහියේ නුවර පිරිසිදු කළා. මල් වැල් ගොතා නුවර ප්‍රධාන වීථිය දෙපස අලංකාර කළා. උස් තැන් මිටි තැන් සම කරමින්, ගල් බොරළු රොඩු ඉවත් කරමින් මාවත පිරිසිදු කළා. සුදු වැලි ඇතිරෙව්වා. සුවඳ පැන් ඉස්සා. සුවඳ කල්ක පුරවපු පාත්‍රා විදීය දෙපස තැන්පත් කළා. අලංකාර ධජ පථාක එල්ලුවා. නමුත් ඔවුන් කිසිවෙකුටවත් සම්පූර්ණ කරගත නොහැකි කොටසක් ඒ මාවතේ තැනක තිබුනා. ‘මෙතෙන්ට අපි දැන් කුමක්ද කරන්නේ?’ කියල පිරිස් රැස් වෙලා කථා කරමින් සිටිද්දී අහස් ගමන් ඇති මහා ඉර්ධිමත් තරුණ තාපසීන් වහන්සේ නමක් එතනට ආවා. එතුමා ඒ පිරිසගෙන් මෙසේ ඇසුවා.

“පින්වතුනී, නුඹලා මේ කුමක්ද කරන්නෙ? හැමෝම එකතුවෙලා ජයටම සරසන්නෙ? රජතුමාවත් මේ මාවතෙන් වඩිනවද? නැත්නම් මගුල් තුලාවක්වත්ද?”

“අනේ අපේ පින්වත් තාපසීන් වහන්ස, ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තව ස්වල්ප මොහොතකින් මේ මාවතෙන් වඩින්ට නියමිතයි…..

රාහුල කුමරු පැවිදි වූ විට යසෝදරාවෝ නැවතත් පැවිද්ද පිණිස සුදොවුන් නිරිඳුන්ගෙන් අවසර ඉල්ලා සිටියේය. එවිට නිරිඳු මෙසේ කීය.

“පුත, දැන් නුඹ පැවිදි වූවොත් දරු නැති ශෝකයෙන් පැවිදි වූවයි කියමින් අනාගතයේදී මිනිසුන් නුඹගේ පැවිද්දට දොස් කියනු ඇත.

නමුත් සිහිකරව මපුත, එදා ජාලිය කන්හජිනා දන්දෙද්දී මද්දී වූ නුඹ එය ඉවසා සිටියා නොවේද? නුඹ කුසින් වැදූ දරුවන් දන්දෙද්දී උන්ගේ දෑත් බැඳී වර පට පමණක් මේ සිනේරු පර්වත රාජයාට වඩා වැඩි නොවේද? ඒ කිසිකලකත් නුඹ දොම්නස් නොවුනු වග බුදු මුවින්ම වදාලා නුඹට අමතකද?

දැන් මාගේ සිද්ධාර්ථ කුමරුවාණෝ සම්බුද්ධත්වය ලබා අර්ථ සිද්ධියට පැමිණ සකළ ලෝවාසීන් සිය දරු කොට සලකද්දී, තමන්ගේම ලෙයින් උපන් දරුවාණෝ ද මහණ කරගත් තැනේ දී මම් කෙසේ නුඹවත් අහිමි කර ගන්ටද?

මපුත, මේ එයට කාලය නොවේ. නුඹගේ පැවිද්ද නිසි කාලයේදී සිදුවන තෙක් නුඹ ඉවසා සිටිය මැනව.”

පැවිදි වූ දා පටන් අපගේ යසෝදරා තෙරණින් වහන්සේ සොයා ලාභ සත්කාර ගලා එන්නට විය. පිරිස් ගලා එන්නට විය. දන් කත් කරත්ත තුළ පටවාගෙන ඔවුන් පෝළිම් ගැසී සිටියහ. තෙරණින් වහන්සේ උදෙසා ඒ ඒ තැන අලංකාරවත් මෙහෙණවර ඉඳිකළහ. දහස් ගණනින්, දසදහස් ගණනින් ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව, සියගණන් ගැල් පුරා නොයෙකුත් ආකාරයේ දානෝපකරණ ගෙන ඔවුන් මහමුහුදට ගලා බසිනා ගංගාවන් සේ රැස් කමින් සිටියහ. මේ අයුරින් දිනෙන් දින මෙහෙණවරට ඇදෙන මහ පිරිසෙහි වැඩිවීමක් මිස අඩු වීමක් නොවීය….

දිනක් විහාරයට ගොස් බණ අසා නැවත මෙහෙණවරට පැමිණීමට පෙර අපගේ තෙරණින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරමින් මෙසේ කියා සිටි සේක.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ගෘහ වාසයේ බොහෝ ආදීනව දැක සම්පත් පිරිවර අත්හළ මා හුදෙකලා වාසය කැමැත්තේ මෙහි විසුවෙමි. නමුත් මේ ජනී ජනයා එක්ව ලාභ සත්කාරයෙන් මා පුදන්ට උත්සාහ කරති. මේ සැදහැවතුන් පිරී සිට, පෙර මාගේ රජගෙයි මිදුල සේම අතුරු සිදුරු නැතිව රැස් කමින් සිටිති. ස්වාමීනී එනිසා මම් අනෙක් නුවරකට යන්නෙමි. හුදෙකලා වාසය බොහෝ කැමැත්තෙමි”

අපගේ තෙරණින් වහන්සේ, නැවතත් විශාලාවට වැඩම කොට මහා ප්‍රජාපතී ගෞතමී තෙරණින් වහන්සේ සමීපයේ විසූ සේක.

තෙරණින් වහන්සේ විශාලාවට වැඩම කළ බව ක්ෂණයකින් සියළු නුවර පුරා පැතිරී ගියේය. සත්දහස් සත්සියයක් ලිච්ඡවී රවරුන් ඔවුන්ගේ සත්දහස් සත්සියයක් බිසෝවරුන්ද සමග මාහැඟි මෙහෙණවරක් කරවා…..

අපගේ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ සාංසාරික ජීවිතය අතිශයින්ම ආශ්චර්‍යහ.

අකම්පිතව, සෘජු අදිෂ්ඨානයකින්, එකම අභිප්‍රායක් හදෙහිලා පැමිණි ඇගේ සාංසාරික ජීවන ප්‍රවෘතිය ජාතක කතාදියෙන් මොනවට ප්‍රකටය. එය අසනා පමාවෙන් හද කිලි පොලා යන්නකි. හද කකියා යන්නකි. ඇඟ හිරි වැටී යන්නකි. සැදැහෙන් සිත පිනා යන්නකි.

සැබවින්ම ඈ බෝසතාණන් වහන්සේ උදෙසාම ස්ත්‍රී ජීවිතයක් ලැබුවා මිසක සර්වප්‍රකාරයෙන්ම සකල ස්ත්‍රී දෝෂයන්ගෙන් මිදී පිරුවටයක් සේ පරම පවිත්‍රව සිටියා ය. සිතින් කයින් හෝ වචනයෙන් එක් මොහොතකුදු ලාමක ස්ත්‍රී දෝෂයක් ප්‍රකට නොකළා ය. හේතුව, ඈ ඒ දොස් උවමනාවෙන්ම සඟවාගත්තා නොවේ. දොස් නොමැති සේ මායාවෙන් පෙන්වා සිටියාත් නොවේ. සත්තකින්ම ඈ නිදොස් වූවා ය. සියළු දෝෂයන්ගෙන් ඈ පිරිසිදු වූවා ය. අව්‍යාජව අවංකව පරම පවිත්‍රව ඈ දොස් රහිතව විසුවා ය. එනිසාය ඈගේ ජීවිතය එතරම්ම සුවිශේෂී.

නික්ලේශී නොවීම ඈ එතරම් ගුණ දැරූනම් නිකෙලෙස්ව මහා අභිඥාලාභීව මහා සෘද්ධිමත්ව සම්බුදු ළයමඩලින් උපන් අර්හත් වූ රහල් මවු තොමෝ කොපමණනම් ගුණයන්ට ආකරයක් වන්ට ඇත් ද! කොපමණ ගුණ සුවඳින් තුන් ලෝ සනහාලමින් වැඩ සිටින්ට ඇත්ද!අහෝ අසිරියක්මැයි! අහෝ ආශ්චර්‍යක්මැයි! එතරම් ගුණ දැරූ අපගේ රාහුලමාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේ නවක මෙහෙණක් සේ, කිසිත් නොදන්න මෙහෙණක් සේ, ළදරු මෙහෙණක් සේ, බිමට හරැවූ නෙතින් යුතුව සම්බුදුරජුන් ඉදිරියේ දෑත් නළලත තබා එකත්පස්ව වැඩසිටින සේක……..

‍යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ සංසාරගත ජීවිතය හා සම්බන්ධ ජාතක කතා

  • Save

කුස මහරජු යොදුන් සියයක් දුර ගෙවා සවස් වෙද්දී මධුරට සාගල නුවරට පැමිණියේය.  රාජාභරණ රාජ සළුපිළිවලින් තොරව, සාමාන්‍ය වස්ත්‍රයකින් සැරසී සිටින කුස මහරජුන්ව කිසිවෙකුත් හැඳින්නේ නැත. එදා රාත්‍රියේදි ඇත් හලට ගොස් ඇත් ගොව්වන්ගෙන් අවසර  ගෙන එහි නතර විය. තමාගේ වීණාව අතට ගෙන මෙසේ අදිෂ්ඨාන කළේය.

“සියළු සාගල නුවර වාසීහු මාගේ වීණා වාදනය අසත්වා”

සසරෙහි අනේකප්‍රකාරයෙන් පාරමිතා පුරමින් සම්බුද්ධත්වය පිණිස පින් පුරමින් වඩිනා බෝසතාණන් වහන්සේගේ අදහස ඒකාන්තයෙන්ම ඉෂ්ඨ වෙයි. එනිසා……

  • Save

වෙසතුරු නිරිඳුන් මසකට සය වතාවක් තමාගේ දන් හල් බලන්ට යන්නේය. ඔහු එයින් මහත් සතුටක් ලැබීය. තමන් ඉපදුනු වහා මෑණියන්ගෙන් දන් දීමට යමක් ඇද්දැයි ඇසූබව රජ ගෙදර ජනයා සිහිපත් කරද්දී හේ තව තවත් දානයටම සිය සිත යොමු කලේය. සත් හැවිරිදි වියෙහි සිටි තමන් සයනය මත පළඟක් බැඳ වාඩි වී ‘අද මාගේ හෘදය හෝ දෙඇස හෝ මාංශය හෝ කිසිවෙකු අයැද සිටින්නේනම් යෙහෙකැයි’යි සිතද්දී ධරණි තොමෝ ගුගුරා ගියයුරු හේ හොඳින්ම දනී. දේවදාර කල්කයකට සඳුන් කල්කයක් එක්වූවාක් පරිද්දෙන්, නා නා සුවඳින් පිරිබඩ ගෑ පොළොවක් මත සුවඳ පැන් ඉසූවාක් පරිද්දෙන්, වෛරෝඩි මාණික්‍යයෙන් කල ආභරණයකට රන් ලියකම් දමා තව තවත් ඔප නැංවූවාක් පරිද්දෙන් ……….

  • Save

එක් කාලයක, හිමාල පර්වත රාජයාගේ සීතල හදවත බඳු ‘ඡද්දන්ත’ නම් විල් තෙර අහස් ගමන් ඇති මහා ඉර්ධිමත් ඇතුන් අටදහසක් වාසය කළා. ඔවුන් හැමට නායකයා වුනේ අප මහ බෝසත් ‘ඡද්දන්ත’ නම් ඇත් රජුයි. දිගින් යොදුන් සියයකුත් උසින් රියන් අසූඅටකුත් වූ අපගේ බෝසත් ඇත් රජුගේ ශරීරය මුළුමනින්ම සුදු පැහැයෙන් බැබළුනා. ඇත් මුව රතු පැහැයෙනුත් රියන් 58ක් දිග සොඬය රිදී පාටිනුත් බැබළුනා. රියන් 15ක වට ප්‍රමාණයෙන් යුත් දළ යුවල තිස් රියනක් දිගට වැඩී තිබුනා. ඒ දල යුගලයන්ගෙන් සවනක් රැස් විහිදුනා. මෙසේ අතිශයින්ම තේජාන්විත මහානුභාවසම්පන්න ඡද්දන්ත ඇත් රජු චූල සුභද්‍රා සහ මහාසුභද්‍රා නම් අගමෙහෙසි ඇතින්නියන් දෙදෙනෙකුගේ උපස්ථාන ලබමින් අටදහසක් ඇතුන්ට අනුශාසනා කරමින් වැඩ සිටියා……..

  • Save

එකල අප මහ බෝසතාණන් වහන්සේ දුගී නිවසක උපන්හ. බරණැස් නුවර වාසය කල හේ දිනක් පාන්දරින්ම කුලී වැඩක් සොයා යනු පිණිස විදීයට බැස්සේය. දහවල ආහාරය සඳහා වෙළඳ වීදියෙන් පිට්ටු කෑලි සතරක් මිලට ගෙන කිලිටි රෙදි කැබැල්ලක ඔතා ඉනෙහි රුවා ගත්තේය. ඒ මොහොතේම පසේ බුදු රජාණන් වහන්සේලා සතර නමක් පිඬු පිණිස ඒ වීදියේම වැඩම කරමින් සිටියහ. අපගේ බෝසතාණන් වහන්සේ මද දුරක් ගමන් කොට හිස ඔසවා බලද්දී ඈතින් වඩිනා පසේ බුදු රජාණන් වහන්සේලාගේ ඡායාව දක්නා ලදී. හේ සතුටින් ඉහවහ ගියේය. වහා දිව ගොස් බිම වැතිරී පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කලේය. හේ මෙසේ කීය, “ස්වාමීනී, මා ලඟ පිට්ටු කෑලි සතරක් ඇත. අනේ ස්වාමීනී, නීරස වුවත් මෙය මා හට ඇති අග්‍රම දේය. ස්වාමීනී මා ගැන අනුකම්පාවෙන් මාගේ මේ දිළිඳු දානය පිළිගන්නා සේක්වා”…….

  • Save

බරණැස් නුවර එක්තරා මහාසාර බමුණු කුලයෙක රන් රුවක් සදිසි පුතෙක් උපන. ඒ අප මහ බෝසතාණෝ ය. වයසින් වැඩෙත්ම හේ උගතමනා සියළු ශිල්පයන් පරප්‍රාප්ත සොඳුරු රුවින් හොබනා අපූරු යොවුන් තරුණයෙක් වී.

මාපියෝ සිය තරුණ පුතු දෙස බලමින් බොහෝ සතුටු වූහ. පුත්‍රයා හා සමාන රුව-ගුණ සම්පතින් අනූන යොවුන් දියණියක් ඔවුහු තම පුතුහට සෙවූහ. නමුත් ඒ පුතුගේ කැමැත්තෙන් නම් නොවේ. හේ කෙතරම් රූපවත් වුවත්, කෙතරම් දක්ෂ වුවත් ගිහි දිවිය යනු ඔහු අකමැතිම දෙයයි. පුත්‍රදාරාවන් නඩත්තු කරමින් කම් සුව විඳීම හේ ප්‍රකෘතියෙනුත් සිහිනෙනුත් එක ලෙස ප්‍රතික්ෂේප කළේය. දෙමාපියන්ගේ ඇවෑමෙන් තවුස් දිවියක් ගතකරනුවස් වනගත වීමට හේ වඩාත් ඇළුම් කළේ ය. අපේක්ෂා කළේ ය. ඒ වෙනුවෙන්ම කල්යල් බලා සිටියේ ය…….

  • Save

පෙර බරණැස් රජු රාජ්‍ය කරවන කල්හි අප බෝසතාණන් වහන්සේ ඒ රජුගේ පුරෝහිත බමුණානන්ගේ ගෙයි ඉපදුනේ ය. එකල ම රජුගේ අගමෙහෙසිය ද පුත් කුමරකු බිහි කළා ය. කුමරුවන්ට නම් තබනා දිනයේ දී බෝසත් කුමරුවාණන්ට ‘සුසීම’ නමිනුත්, රාජ කුමරුවාණන්ට ‘බ්‍රහ්මදත්ත’ නමිනුත් නම් තබන ලදී. කුමරුවන් දෙදෙනාම එක දිනයේ උපන් නිසා රජතුමා සුසීම කුමාරයාණන් ද රජ ගෙට පමුණුවා කුමාර සම්පත්තියෙන් ඇති දැඩි කළේ ය. නිසි වියට පැමිණි කල දෙදෙනම ඉතා විශිෂ්ඨ රූපයෙන් යුතු දිව්‍ය කුමාර විලාශයෙන් ද දුටුවන් සිත් බැඳගන්නා වර්ණ සම්පත්තියෙන් ද තේජසින් ද යුක්ත වූහ. ශිල්පයන් උගෙන යලි සිය රට බලා පැමිණි කල බ්‍රහ්මදත්ත කුමාරයා හට පියරජු ඇවෑමෙන් බරණැස රජකම ලැබුණු අතර සුසීම කුමරුවාණන් රාජ්‍ය පුරෝහිත ධූරය ද ලැබුණි…….

තවත් බොහෝ ජාතකතා කියවන්න

අරහත් තෙරණි සීහ නාද | ථේරි අපදානය

“…… බුදුන් දැකීමෙහි ලොල් වූ මම ඒ බුද්ධානුස්මෘතිය වඩා රහත්බවට පැමිණියෙමි. ලෝකනායකයන් වහන්සේ දැකීම පිණිස මම හැම දින මැ යමි, නයන නන්‍දන වූ බුද්ධ රූපය තෘප්ති රහිත ව මැ දක්මි. සියලු පාරමී බලයෙන් හටගත් ලක්‍ෂමී නිවාස වූ සියලු ශුභ ලක්‍ෂණයෙන් ගැවැසීගත් උත්තම රූපය මම අතෘප්ත වැ බලමින් වෙසෙමි. ඒ ගුණයෙහි සතුටු වූ ජින වූ භාග්‍යවතුන් වහන්සේ ‘සිගාලක’ ගේ මාතෘ වූ මෙහෙණ අග්‍ර වූ ශ්‍රද්ධාධිමුක්ති ඇත්තී යයි මා එතදග්‍රයෙහි තැබූහ ……”

-සිඟාලමාතා මහ රහත් තෙරණින් වහන්සේ-

සිරිමත් වෙසතුරු දාව (විශේෂ උපුටා ගැනීම්)

ශාන්තිය (ඒ අමා ගීතය) (විශේෂ උපුටා ගැනීම්)

ශාන්තිය (ඒ අමා ගීතය)

(විශේෂ උපුටා ගැනීම්)

…………. සඳළු තලයට පැමිණි සුදොවුන් නිරිඳාණන් සැවැත් නුවර පිහිටි දිසාව බලා සිටියේ ය. තම නෙතු සඟල වන් ඒ සම්බුදු පුතණුවන් වැඩ සිටින්නේ ඒ දිසාවේ නොවේද කියා නිරිඳුන් සිතත් සිතත් ම සොම්නසින් ඉපිළී ගියේ ය. සිය හද මඩුළු ගඳ කිළිය සේ වී. සිත පුරා පැතිරී ගියේ සහන් සුවයෙකි. එහෙත් යළි තම මාලිගය වෙත සිත යොමන විට මහා පාලුවෙක් පැතිර ගියා සේ ය. එක් කාලයෙක ඒ සත්සර මුසු වෙන නදින් යුතු නන්දාවන්ගේ ගී හඬ, ගන්ධර්වයන්ගේ සංගීත අසපුවක් සේ වී. එහෙත් සිද්ධාර්ථයන්ගේ අබිනික්මනින් පසු සියල්ල වෙනස් වී ගියා. ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම වීමෙන් පසු ඊටත් වඩා වෙනස් වී ගියා. මොළකැටි බස් දොඩමින් සිටි රාහුලයන් දැන් කොහි ද? ඒ අභිමානවත් නන්දයන් දැන් කොහි ද? මේ මාලිගය දැන් පාලු වී ගිය ගිමන්හලක් වැන්න.

සුදොවුන් නිරිඳාණන් ගෞතමී බිසවුන්ගේ යහන් ගැබ වෙත පිය නැගී ය. නිරිඳුන්ගේ පා හඬින් බවුන් වඩමින් සිටි ගෞතමී බිසව් නෙතු පිය හැර බැලුවා ය. ශාන්ත සිනායෙක් පෑවා ය.

“මැනවි, ප්‍රිය භවතී. බවුන් වඩමින් නේද සිටියේ? ඉතා මැනවි. බලව, මා සිතුවා! එදා අපගේ රාහුල භද්‍රයන් ඉතා සියුමැලි ශ්‍රමණ පැටවෙක් ව සිටිනු දුටු වේලෙහි නම්, අහෝ! මගේ හද දෙදරා ගියා. උගුර සිර වී ගියා. සිරුරෙහි ඇට කැබැල්ලෙක් වෙන්වුණා සේ දැනුණා. එහෙත් බලව, කොතරම් අසිරිමත් ද? එවැනි ළදරු කුමරුන් පවා මේ පිවිතුරු බඹසර රකිමින්, බුදු පෙළහරට එක් වී සොම්නසෙන් කල් ගෙවන හැටි. අපේ නන්දයන්ටත් රසවත් වූ හැටි ඒ අමා රසය ම.”

යසෝදරාව ද පැමිණ මේ සංවාදයට සවන් දී සිටියා ය. ශෝකාකූල බවෙක් පෙනෙන ඇගේ නිල්වන් නෙතු සඟල තුළ ශාන්ත සන්සිඳීමෙක් දක්නට ලැබුණි. ඈ දැන් නිතර බවුන් වඩයි.

ගෞතමී බිසව් සිය නිරිඳුන් දෙස බලා සිතේ උපන් හැඟුම් පවසන්නට වුවා ය.
“භවත් හිමියෙනි, ලෝකය කොයිතරම් වෙනස්වන සුළු ද? නොසිතන දේම නෙව සිදුවෙන්නේ? අහෝ! ගලා ගලා යන නදියක් සේය. සැබෑවක්ම ය අපේ භාග්‍යවතුන් වහන්සේ පවසන්නේ. මෙය නම් මායා නගරයෙකි!”

ගෞතමී බිසව් යසෝදරාව දෙස බැලුවා ය. ඕ මහා දිගු කල්පනායෙක පැටලී ගිය සේ නිකටෙහි අත තබා හුන්නී ය.
“යසෝදරාවනි, තොපට සිහි කළ හැකි ද, එදා නිග්‍රෝධ අසපුවෙහි දී අපගේ මුනිරාජණන් වදාළ අමා ගීය. හා! කොතරම් අගේ ද? දිවියේ සැඟැවී ගිය අරුත්. මෙතරම් ම විසිතුරු ද! මා දෙසවනේ නම් තවමත් රැවුදේ”

එය නැවත පවසන ලෙස ගෞතමියගෙන් ඉල්ලමින් යසෝදරාවන් ඇවිටිලි කරන්නට වූවා ය. ගෞතමි දේවී දැහැනකට සමවැදුනාක් මෙන් සිටියා ය. මොහොතකින්, ලයාන්විත ශාන්ත ස්වරයෙන් ඒ ගීය මුමුණන්නට වූවා ය.

“පින්වත් සමණනි – දනිව් දනිව්
මහ සයුරකි – සිත මේ
එය නො පිරේ – කිසිදා නො පිරේ
නෙත් සවනින් හා
අනෙකුත් ඉඳුරන්ගෙන් ගලනා
ගංඟා දිය කඳ
සිත් සමුදුර වෙත – ගලා බසී
ජීවන වෙරළින් බැඳි – ඒ සයුරේ
තණ්හා දිය කඳ – දකිව් දකිව්
ශෝක තැවුල් රැළි නැගෙනා
වඩවි වඩව් – වෙර වීරිය දැන්
සිත සමාධිමත් වී යයි
යුගාන්තයේ හිරු මඬල විලාසෙන්
නැණ හිරු නංවාලව්
වියලව් ඒ තණ්හා සයුරූ
සිඳී සිඳී යන සේ….

යසෝදරා නෙත් පියා ගත්තී මහත් සැදැහෙන් හා සැනැසී ගිය සිතින් අසා සිටියා ය. ගීය අවසන්කළ ගෞතමිය යළිත් දොඩමළු වූවා ය.

“අහෝ! ඒකාන්තයෙන් ම දුක් සයුරෙකි මේ ජීවිතය. ඒ භාග්‍යවතුන් වහන්සේ නම් සයුරින් එතෙරට වැඩියා. අමා සුව සලසා ගත්තා. ඒත්… අනේ! අපට කවදා නම් ලැබේද එබඳු සැනසිලි ජීවිතයක්. අනේ! ඒ උත්තමයෝ කොපමණ භාග්‍යවන්තයෝ ද?”

ගෞතමී දේවී පසුවන්නේ බොහෝ සිත් තැවුලෙන් බව යසෝදරා දනී. ඈ අද පතමින් සිටින්නේ ඒ නිදහස් ශ්‍රමණ ජීවිතය යි. යසෝදරාව පතන්නේ ද ඒ විමුක්තියේ ධජය යි. එදා ගෞතමී බිසව් ශ්‍රමණභාවය ඉල්ලා ආයාචනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ නො අනුදත් සේක. එහෙත් ඇයට ශ්‍රමණ ජීවිතයෙන් තොර නිදහස් සුවදායී තැනක් සිතා ගත නො හැකි වී. ගෞතමී දේවිය සනසවන අටියෙන් යසෝදරාව තම සිතැඟි පළ කළාය.

“අනේ! මෑණියෙනි, බලව. මේ ලාමක ස්ත්‍රිත්වයේ ඇති අවාසනාව. වසර දහස් ගණනක් තිස්සේ දඹදිව උපන් වනිතාවෝ මේ ‘වේද’ සම්ප්‍රදාය නම් තියුණු වර පටින් බැඳ තබා සිටින්නාහු නො වේද? අනේ! කාන්තාවෝ වනාහි ගිනි වැටකට මැදි වූ මුවැත්තියන් සේ ය. මනුෂ්‍යත්වය සුරකිනු වෙනුවට මේ ‘වේද’ සම්ප්‍රදාය කරන්නේ මිනිස්කමට බැට දීමයි”

“එහෙත් දියණිය, ස්ත්‍රියක වූ පමණෙකින් සියල්ල වැළැලී ගිය සැටි. නිදහස් සුවය නොලද හැකි මේ ස්ත්‍රිත්වය කුමට ද? එදා මා ඒ භික්ෂුණී භාවය ඉල්ලා කොතෙක් ආයාචනා කළා ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් නොදෙන සේක් ද?”

සියල්ලට ම නිහඬව සවන් දී සිටි සුදොවුන් නිරිඳාණන් අසල තිබූ රන් තැටියෙහි වූ සුවඳ කැවූ පුවක් පෙති කීපයක් ගෙන බුලත් කොළයක දවටා සපන්නට පටන් ගති. උගුරු රැල් බුරුල් හැර දේවිය අමතන්නට විය.

“එම්බා, පින්වත් ගෞතමී…. කිම තෙපි නො දකිව් ද එය? එදා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඇත්තකි. මොහොතක් සිතව්, ඔය ශ්‍රමණභාවය රඳා පවතින්නේ පිවිතුරු බඹසර ම මුල් වී නොවේද? ඇරත්, කොපමණ වෙහෙස මහන්සියෙකින් ද සුරැකිය යුත්තේ? රුක් සෙවනෙක, ගිමන් හලෙක, පිදුරු කිළියෙක, ගිරි ගුහායෙක ය රැය පහන් කළ යුත්තේ, පිණ්ඩපාතයෙනි දිවි ගෙවිය යුත්තේ. සිවුරෙකිනි කය වසාගත යුත්තේ. ලද සිව්පසයෙන් සතුටුව ගම් දනව් සිසාරා චාරිකායෙහි වැඩිය මනාය. එහෙයින් තොප පතන මේ ශ්‍රමණ භාවය වනාහී පුරුෂයන්ගේ දහමක් බව නො පෙනේ ද?

අනික, ඉතා සියුමැලි කාන්තාවෝ ය තෙපි. එහෙත් කාන්තාවන් කොපමණ සාදර සිතින් බඹසරට දිවි පුදා රැක්ක ද වංචනික සල්ලාලයන්ගෙන් දුක් පීඩා උපදින්නේම ය. ඉතින් කෙසේද කල් ගෙවන්නේ රුක් සෙවනෙක, ගිරි ගුහායෙක? කෙසේ ද යැපෙන්නේ පිණ්ඩපාතයෙන්? අහෝ! කොපමණ දුෂ්කර ආයාචනයෙක් ද තොප එදා කෙළේ?”

ගෞතමී දේවි නිරිඳුන් වදන් අසා සිට තම අරමුණ සඵල කර ගැනීමේ අදිටනින් යුතුව යළි කතා කරන්නට වූවා ය.
“ස්වාමීනී, එය එසේම ය. එහෙත් නිමේෂයක් සිතා බලනු මැනවි. ස්ත්‍රීන්ට ද ඇත්තේ සිතකි කයකි. ඈද ඇස කන ආදී ද්වාරයන්ගෙන්ම අරමුණු ගනිමින් මේ මායා ලෝකයේ අතරමංව සිතට වසඟව දුක් දොම්නස් ම වැළැඳගෙන සිටියි. ඉතින් ස්ත්‍රියක් වූ පමණෙකින් ඈ සදහට ම සසරේ දුක් විඳිය යුතුද? රාගයත් ද්වේෂයත් අතර වූ රියසකට සැමදා යට වී සිටිය යුතු ද? සියළු බන්ධනයන්ගෙන් මිදී දුකින් නිදහස් ව විමුක්තිය සාක්ෂාත් නො කළ යුතු ද? නැත ස්වාමීනී. ස්ත්‍රිය ද සොයා යා යුතු ම ය ඒ අමා!”

ගෞතමියගේ මේ තිරසර අභීත වදන් අසා සුදොවුන් නිරිඳුන්ට එකල සිද්ධාර්ථයන් සිහිපත්වී. හේද තිරසර වදනින් පැවසුවේ විමුක්තියක් ගැන යි. හා! දැන් ගෞතමීය ද ඒ වදන් එලෙසින් ම තෙපළයි! සොම්නසට පත් සුදොවුන් නිරිඳුන් විදහාගත් නෙතින් සිනාසුණි.

“ඉතා මැනවි…. දේවිනි, මම් දනිමි. තොප ගන්නේ ද ඒ පුතණුවන් ගිය මග ම ය. භවතී, එය ඉතා මැනව. මේ වංශය වනාහී ලොවට සිළුමිණි වූ ඒ මුණිරජාණන් උපන් ශාක්‍ය වංශය නොවේද? එහෙයින් උන්වහන්සේ තෝරා ගත් මගෙහි යාම අපගේ උරුමයෙක් ම ය. ඒ ශාක්‍ය වංශයෙන් ම, මේ මන්දිරයෙන්ම සකල කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා පළමු දඬුවැට පහන දැල්විය යුතුය.”

යසෝදරාවෝ ද ගෞතමී බිසව් ද ශාක්‍ය කුල කතුන් ගේ අපරිමිත ගෞරවාදරයටත් සම්භාවනාවටත් ලක් වී සිටියහ. සියළු කතුන්ගේ අනුශාසිකාව වූයේ ද ගෞතමී දේවිය යි. ඕ යසෝදරාවන් හා එක්ව ශාක්‍ය කුලකාන්තාවන් ගේ සමුළුවෙක් සිය මන්දිරයේ ම රැස් කරවූහ. එදින සුදොවුන් නිරිඳුන් ගේ මන්දිරය රූබර රාජකීය ශාක්‍ය ලඳුන්ගෙන් පිරී ගියේ ය. ඒ කාන්තාවන් ගේ ස්වාමිවරුන් බොහෝ දෙනෙක් ද, බොහෝ යොවුන් පුතුන් ද, දැනටමත් ශාක්‍ය මුනිරජාණන් ගේ ශ්‍රමණ ශ්‍රාවකයන් වී හමාර ය. මේ කුලාංගනාවන්ගේ ද ඒකායන පැතුම වූයේ මේ මිනිස් ජීවිතයේ ම ඒ අමරණීය ශාන්තිය උදාකර ගැනීමට ය. ගෞතමී දේවී හැඟීම් බර වූ ගාමිභීර ස්වරයෙනි, සභාව අමතන්නට වූයේ.

“ ප්‍රිය ලලාවෙනි, තෙපි දන්නහු ය. ඒ අපගේ ශාක්‍ය මුනිරජාණෝ හිරු මඬල සේ බබලමින් ලෝකය ඒකාලෝක කරමින් සිටිති. විමුක්තිය සොයා පියාසලනු කැමතියනට අත්තටු ලබා දෙමින් සිටිති, සදා සුවපත් වනු කැමතියනට අමා ඔසු ලබා දෙමින් සිටිති.

එහෙත් බලව, අප කාන්තාවන් වූ පමණින් සදා අඳුරේ ගිලී සිටිය යුතු ද? නැත. අප බොහෝ කල් ප්‍රාර්ථනා කොට ලැබිය යුතු ඒ පරම පිවිතුරු සුවය ලබන්නට කල් පැමිණ තිබේ. ඒ අපගේ පරමෝත්තම පුත් රුවන සිද්ධාර්ථයන් පවා ඒ සදාතනික අමා සුව තමා වෙත පැමිණෙන තෙක් බලා නොසිට බොහෝ දුක් ගැහැට විඳිමින් දිවි පරදුවට තබා එය සොය සොයා ගියේ ය. දැන් ඇත්තේ ම ය ඒ අමා. ඉතින්, අප ද තව දුරටත් වහලියන් සේ ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදායගත වරපට ට සිරවී සිටිය යුතු නොවේ. කිම…. කැට කිරිල්ලන් රෑනක් අහසට පැන නැගී ඉගිලී යන්නා සේ ඒ අමා සුව සොයා නො යන්නහු ද?”

එවදන් ඇසීමෙන් ශාක්‍ය ලලනාවෝ නව ජීවිතයක් ලැබූ කලෙක පරිද්දෙන් ඔද වැඩුණු සිත් ඇති වූහ. හිරු රැස් වැදී පිපී ගිය පියුම් සේ ප්‍රමුදිතව සතුටින් ඉපිලී ගියහ. එවිට ම යසෝදරාව නැගී සිටියා ය. මෘදු සිහින් හඬින් ඇමතුවා ය.

“පින්වත් සහෝදරීනි, බලව. කොතරම් අසිරිමත් ද කියා, ඒ මගේ නෙත් සඟල වන් ස්වාමියාණෝ අද සම්මා සම්බුදු රජාණෝ ය. උන්වහන්සේ සකල සත් වගට ඒ අමා සුව රැගෙන මහා කරුණායෙන් තුන්ලොව පුරා වඩනා සේක. මාගේ හද මඬල ව සිටි රාහුල කිරිකැටියාණෝ අද සොඳුරු ශ්‍රමණ පැටවාණෝ ය. අපගේ මයිලනු නන්දයන්, සොව්රු දෙව්දතුන්… තව කොතෙක් නම් පිරිස් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ පියවර පසු පස යන්නාහු ද?

එහෙයින්….අපිදු, කිම ඒ ශ්‍රාවිකා භික්ෂුණීන් ව ශාක්‍යධීතාවෝ නොවන්නමෝ ද? අමා සුව සොයා යන මේ ගමන වෙනුවෙන් මියගිය ද කම් නැත. තිරසර නොවූ වහා වෙන් වී කැඩී බිඳී යන ලොවේ ඇලී ගැලී සිටීමෙහි අරුත කිම? ඒ නිවන් මිහිර ම සොයා යන්නෙමු!

එහෙයින් අපගේ මෑණියන්ගේ මූලිකත්වයෙන් වන මේ සොඳුරු ගමනට තෙපි ද එක්වව්. ඒ අමා සුව මේ දිවියේ ම රිසි රිසි සේ වළදිව්. අරුතින් තොර මේ දිවිය තුළ වෙන කුමක් නම් සොයා යන්නට ද?”

ඒ පන්සීයක් කුලාංගනාවෝ එක්සත්ව, එක්සිත් ව යසෝදරාවගේ අදහසට නැමී ගියාහු ය. විමුක්තියේ කාහල නාදයෙන් ගත ලොමු දැහැ ගැනිණ.

“පින්වත් යසෝදරාව, අපි සැවොමත් විමුක්ති පරායන වන්නෙමු. අපිදු මේ සසර සයුරු තරණය කරන්නෙමු. ඒ කනේරුකා නම් හස්තිනියෝ හිම ගත අරණේ සුගන්ධිකා පොකුණෙහි බැස ලා නෙළිඹු දඬු පාගා සුණු විසුණු කරන්නා සේ, ලා බට වනයෙක් පයින් මැඩැ තලා දමන්නා සේ අපිදු ඒ සියලු ආශා රැහැන් සිඳ බිඳ දමන්නෙමු.”

************************************************************

ශාක්‍ය කුලාංගනාවන් ගෘහවාසයෙන් සමුගෙන ශ්‍රමණ භාවය වැළැඳ ගන්නට යන පුවත සැඩ පවනකටත් වඩා වේගයෙන් හමා ගියේ ය. ශාක්‍ය සිටුහු ද ප්‍රභූහු ද කම්පිතව සැලී ගියහ. එහෙත් ඒ වීර ළඳුන් ගේ පිවිතුරු ගමන් මග වළකාලන්නට කිසිවෙකුට නො හැකි වී.

ඒ රූබර ලලනාවෝ සුපිපි රුක් හි අතු ඉති සොලවා මල් සලා දමන්නා සේ ඒ සිරුරු පලන් අබරණ ගලවා දැමූහ. මොණර පිල් කළඹවන් ඒ අභිනීල කෙස් කළඹ කපා දැමූහ. මිහිරි හඬ නැඟූ පා යුග බැඳී ඒ මිණි නූපුරයන් සිඳ දැමූහ. පියුම් පැහැගත් සොඳුරු පා යුග සුවඳවත් කළ ලාක්ෂාරස සෝදා දැමූහ. කසී දනව්වෙන් ගෙනා සිනිඳු පට පිළි උනා දැමූහ. රළු පරළු කසවති ගත දවටා ගත්හ. අතට මැටි පාත්‍රා ගත්හ. විමුක්තියේ නාමයෙන් මහ මගට බටහ.
මේ භික්ෂුණී පෙළහර නරඹන්නට මග දෙපස දනෝ රැස්කෑහ. මේ කුල කතුන්ගේ දූ දරුවෝ ළෙහි අත්පැහැර හඬා වැළපුනහ. ස්වාමීහු සිහිසුන් ව වැටුනාහ. නෑසියෝ කඳුළු වගුළහ. දුටු දුටුවන් ගේ නෙත් සොවින් තෙමී සිත් කැළැඹී ගියේ ය.

“අහෝ! ලොවට මේ කුමක් ද වෙන්නට යන්නේ? අනේ පින්වත්නි, අර.. අර නරඹව්. විදුලිය සේ ලෙලදෙමින් සිටි ඒ සුන්දර ලලනාවන් ද මේ? අනේ! මේ දිගැසියෝ සිය දෙනුවන් බිමට යොමාගෙන සන්සුන් පියොවින් වඩින’යුරු. අහෝ! අර…. බලව. පාවහන් නොමැතිව ඒ මල්පෙති සේ සිනිඳු පා යුග කෙසේ නම් නොරිදෙත් ද? ඒ රන් පැහැ සිවි සැඩ හිරු රැසින් දැවී පිළිස්සී නොයෙත් ද? අහෝ! කෙසේ ද දැන් රුක් සෙවනෙක, ගිරි ගුහායෙක, පිදුරු කිළියෙක, වනගත කුටිකායෙක එකලාව කල් ගෙවන්නේ? මිහිරි බොජුන් නැතිව පිඬු සිඟීමෙන් කෙසේ ද කල් ගෙවන්නේ? ක්ලාන්ත නො වෙත් ද? ධරතී මාතාවෝ මෙය කෙසේ නම් ධරා සිටින්නී ද?”

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂුණීන් ගේ වෙස්ගත් මේ පින්වතියන් ව සැවැත් නුවර වැස්සෝ සාදර ගෞරවයෙන් පිළිගත්හ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සැවතෙහි වැඩ නො සිටියහ. එසඳ ඔවුහු සැවතෙහි නො රැඳී ඉන් නික්ම රජගහ නුවර වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ද නො සිටි සේක. ඔවුහු මව්දෙන සොය සොයා යන වසු පැටිත්තියන් සේ භාග්‍යවතුන් වහන්සේ සොයා ගෙන විශාලා මහනුවර තෙක් ගියහ. එසඳ භාග්‍යවතුන් වහන්සේ විශාලායෙහි කූටාගාර සාලාවේ වැඩ වෙසෙති.

සෛන්ධව අසුන් යෙදූ රථවලින් ගමන් ගත්, විල්ලුද පලස් මත සක්මන් කළ, සුව පහස් යහන්හි සැතැපුණ, සිනිඳු පිනී බොජුන් වැළැඳූ ඒ සියුමැලි ලලනාවෝ පාවහන් නොමැතිව, පා ගමනින්ම මේ සා දුරක් ගෙවා පැමිණෙන සඳ ක්ලාන්තව ගියාහු ය. බලවත් සේ තැලී මිරිකී ගියාහු ය. අපමණ වෙහෙසට පත් වූවාහු ය. ග්‍රීෂ්මයෙන් තැවී, මැලැවී ගිය කඩා දැමූනෙ සේ වී. ඒ සියුමැලි පා යුග තැලී පුපුරා ලේ ගලා ගියේ ය. පෙරවූ කහවත් ධූලියෙන් වැසී ගියේ ය. ලොව්තුරු පැතුමින් බරව නෙතු යුග කඳුළින් තෙමී ගියේ ය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ වැටුණාහ. හඬන්නට පටන් ගත්තාහ. දැන්වත් උන්වහන්සේ භික්ෂුණී භාවය ලබා දෙති’ යි සිතා ආයාචනා කරන්නට වන්හ.

මහා කරුණිකයන් වහන්සේ ඔවුන්ගේ දුක් අඳෝනා සාවධානව අසා සිටි සේක. එහෙත් ඔවුන් මේ කරගෙන තිබෙන්නේ කුමක්ද? මේ පැවිදි ජීවිතය වනාහි පිවිතුරුව ගත කිරීම ඉතා දුෂ්කර දෙයකි. උන්වහන්සේ ඔවුන්ව ආදරයෙන් ඇමතූහ.

“ අනේ! පින්වත් මාතාවෙනි, කිමද මේ? නො කළ යුත්තෙක් ම නෙව මේ කරගෙන තිබෙන්නේ? නිදහස් නමුදු, පිවිතුරු නමුදු, සැනසිලිදායක නමුදු ඉතා ම දුෂ්කර ය මේ ශ්‍රමණ ජීවිතය. මේ පාරිශුද්ධ බඹසර සුරැකිය යුත්තේ බලවත් අදිටනින් ද නොමඳ කැපවීමෙන් ද යුතුව ය. පුරුෂයන්ට පවා එය සුරැකීමට පහසු නොවේ. එහෙයින්, පින්වත් ගෝතමී මාතාවෙනි, මන්ද සිහි නොකෙළේ? තථාගතයන් කළින් ම නොම පැවසුවේ නොවේ ද?

ඒ තොප ගේ දුකත්, දොම්නසත්, වෙහෙසත්, විමුක්ති පරායන සිතත් දකිමි. එහෙත් කුමක් කරන්නට ද? මෙය පවසන්නේ තොප කෙරෙහි ඇති කරුණාව නිසා ම යි. අනුකම්පාව නිසා ම යි. ඉතින් මාතාවෙනි, ආපසු සිය මැදුරු බලායව්.”

භාග්‍යවතුන් වහන්සේගේ මෙවදන් ඇසෙත් ම ගෞතමිය සිහිසුන්ව ඇද වැටුණා ය. ඒ කුලාංගනාවෝ ද කම්පිතව හඬා වැටුණාහ. “අයියෝ! ආපසු යන්නටලු. ශ්‍රමණ භාවය මහත් දුෂ්කරලු. එහෙත් අනේ! කෙසේ ද අප යන්නේ? ගෘහ වාසය මහා ගින්නෙකි! මහා පීඩාවෙකි! අහෝ!….”

ඔවුහු විල්තෙරේ රොක් වී නද දෙන හංස රාජිණියෝ සේ ඒ කූටාගාර සාලාවේ ද්වාරය වෙත පැමිණ තැනින් තැන වැටී හඬන්නට වන්හ.

“පැන් සොයා ආ – හංසිනීයෝ
විල් තෙරේ කිම – සල සලා කඳුලු
සෝකයෙන් මේ ඉන්නේ
සියුමැලී – පා යුග තැලී
ලේ ගලා ගියා
එය ඉවසන්නම්
සිඟාලත් බොජුන් – රස නැතේ
එය ද ඉවසන්නම්
ධූලි තැවැරී ගියා මේ – කහවතේ
එය ද ඉවසන්නම්
ගත රිදී – සිත හඬා වැටෙනා
ඒ සම්බුදු සසුන් විලේ
අහෝ! කවදාදෝ – පීනා යන්නේ කියා”

අනඳ තෙරණුවෝ මහත් සේ කම්පා වූහ. ‘මේ කුලකාන්තාවන්ට කෙසේ හෝ පිහිට විය යුතු ය. එසේ නොමැති වුවහොත් මේ කාන්තාවන්ට දුක දරා ගත නො හැකිව සිහි විකල් වනු ඇත.’ හේ වහ වහා ගෞතමී වෙත ගොස් ඇයව අස්වසන්නට වී.

“පින්වත් මෑණිවරුනි, දැන් ඉතින් කුමක්ද කරන්නේ? මොහොතක් ඉවසව්. ඒ මහා කාරුණිකයාණන් මෙසේ පවසන්නට හේතු තිබෙනවා නෙව. එහෙත් මම් දනිමි. උන්වහන්සේ ගේ හද මඬල වෙඬරු පිඬක් උණුවෙන්නා සේ අනුකම්පාවෙන් උණු වී යන සුළු ය. නිමේෂයක් ඉවසව්. ඒකාන්තයෙන් ම තොපට සහනයක් සැලසෙනු ඇත.”

මහත් අපේක්ෂා ඇතිකර ගත් සිතින් යුතු අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. වැඳ නමස්කාර කරමින් මේ කුලාංගනාවන්ට භික්ෂුණීත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. භාග්‍යවතුන් වහන්සේ නො අනුදත්හ. අවසානයේ ආනන්ද තෙරණුවෝ මෙසේ ආයාචනා
කළහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම් විර්යවත්, ගුණවත්, නැණවත් කාන්තාවක් සත්‍යයට දිවිපුදා බඹසර සුරකිමින් සසුන් පිළිවෙත් පුරයි නම්, ඕ ඒ පරම ශාන්ත විමුක්තිය උදාකරගන්ට අසමත් වන්නී ද?”

“ප්‍රිය ආනන්දය, එය එසේ නොවේ. යම් කාන්තාවක් අකලංක සිතින් මේ සසුන් බඹසර හැසිරෙන්නී නම් ඒකාන්තයෙන් ම ඕ තොමෝ ඒ සදාතනික අමා නිවන
සාක්ෂාත් කරන්නී ය.”

අනඳ තෙරුන් ප්‍රීතියෙන් ඉපිල ගියේ ය. සිය අභිමතාර්ථය සඵල විය. හේ දොහොත් මුදුන් නගා ගනිමින් යළිත් ආයාචනා කළේය.

“එසේ වී නම් භාග්‍යවතුන් වහන්ස, ශාක්‍ය මුණින්ද්‍රයන් වහන්ස, මහා කාරුණිකයාණන් වහන්ස, දම්රජාණෙනි, මේ අපගේ ගෞතමී මාතාව ඔබ වහන්සේ ගේ කිරි මාතාවෝ ය. ඕ තොමෝ නුඹ වහන්සේ ළදරු කල්හි රන්කිරි පොවා නෙත් සඟලක් සේ රැක බලා ගත්තා ය. මායා මව් බිසව් නොමැති අඩුව නොදැනෙන්නට මව් සෙනෙහස නොඅඩුව දුන් දෑ ය. දැන් නුඹ වහන්සේ තිලොවේ ම මෑණියන් වන සේක. ඒ කිරි මව්, ගෞතමී මාතාවන්ට ද අමාකිරි ලබා දෙන සේක්වා. ඒ කාන්තාවෝ ද මේ පිවිතුරු බඹසර හැසිර මේ දුක් සයුර තරණය කරත්වා!”

අනඳ හිමියන්ගේ මේ ආනන්දනීය පුවත අසා ගෞතමී මාතාව ප්‍රධාන මාතාවන් නිම් හිම් නැති ප්‍රීතියෙන් කඳුළු පිසදමා වහා නැගී ගත්හ. ඔවුන්ගේ සියලු වෙහෙස දුරු වී ගියේ ය. දුක් සන්සිඳී ගියේ ය. ආලෝකය උදාවිය. ඔවුහු සිනාමුසු මුහුණින් යුතුව භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා යුග සෙවනේ වැඳ වැටුණාහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා වදාළ සේක.

“එම්බා පින්වත් මාතාවෙනි, අමතමි තොප, මින්පසු තෙපි ඒ තථාගත ශ්‍රාවිකා භික්ෂුණීහු වන්නාහු ය.

පුණ්‍යවන්තීනි, එව්. සිහි නුවණ උපදවා, අකලංක සිතින්, මේ පරම පිවිතුරු බඹසර හැසිරෙව්. මානස විලේ හුන් හංසරාජිණියෝ විල අත්හැර අහසට පැන නැගී පියාසලා යන්නා සේ තෙපි ද මේ භව පැවැත්ම නම් මායාකාරී මානස විලෙන් නිදහස්ව එය අත්හැර දමා අමා නිවන පිරි විමුක්තියේ අහස් තලයට නැගෙව්, සියව් දුක් නසා සදා සුවයට පැමිණෙව්.

අහස් තලයට නැගෙව්, සියලු දුක් නසා සදා සුවයට පැමිණෙව්.”

“ගීතයක් වී
සවන් යුග – සැතැපී
සිත් සතන් හැම – සැනැසී
ඇසේවී – කල්පයක් සපුරා
ගැයේ වී – දනන් තොල් මතුරා
රැඳේවී – හදේ සුව පතුරා
ඒ අසිරිමත් මුණිවරුනේ! ”

 

ඇසුර / Source :

‘ඒ අමා ගීතය’ කෘතිය

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

(අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ වීර චරිතාපදානය නව කතාවක් ලෙසින්…..)

ථේරි ගාථා | රහත් තෙරණින් වහන්සේලා වදාළ ගාථාවන්

“……ඉස්සර මං ජීවිතය ගත කළේ ස්වාමියත් නැතිව, දූ දරුවනුත් නැතිව. මං ගොඩාක් දුක් වින්දා. නෑමිතුරන් ද නැති මට කන්ට අඳින්ට කිසි දෙයක් තිබුණේ නෑ.

මං මැටි භාජනයකුත් අරගෙන, හැරමිටියකුත් අරගෙන ගෙයින් ගෙට හිඟා කකා ගියා. සීතලෙන්, අව්වෙන් පීඩා විඳ විඳා හත් අවුරුද්දක් ම ගෙවිලා ගියා.

දවසක් හොඳට කෑම බීම ලැබෙන පටාචාරා භික්ෂුණිය දැකගන්ට ලැබුණා. ඇය කරා ගිහින් මේ පැවිදි බව ඉල්ලා හිටියා.

ඒ පටාචාරා භික්ෂුණිය මට ගොඩක් අනුකම්පා කළා. මාව මහණ කළා. මට අවවාද කළා. මාව උතුම් අර්ථයෙහි යෙදවූවා. ඇගේ වචනය අසාගත්ත මං ඒ අනුශාසනාව කළා. ඒ භික්ෂුණිය ගේ අවවාදය හිස් දෙයක් නොවේ. දැන් මාත් ත්‍රිවිද්‍යාලාභී නිකෙලෙස් කෙනෙක්…….”

– චන්දා තෙරණියගේ ගාථා –

මහ රහත් තෙරණින් වහන්සේලාගේ සංසාරගත ජීවිතය

“…… ඒ භවයේදී ජීවිත කාලය පුරාම පින්කම් කරමින් සිට මිය ගිය පසු ඔවුන් නැවත දිව්‍ය ලෝකයක උපත ලැබූහ. නැවත ඒ දිව්‍ය භවයෙන් සමුගත් කල්හි ස්වාමි පුරුෂයා බරණැස් නුවරින් යොදුනක් දුර ප්‍රභූ කුලයක නන්ද නමින් ඉපදුනේ ය. බිරිඳ බරණැස් නුවර මාලිගාවේ (රජ පවුලේ ) වැඩිමහල් කුමරිය ලෙස ඉපදුනා ය.

දිනක් නන්ද ජීවත් වූ ගමේ උත්සවයක් පවත්වන බවට නිවේදනයක් නිකුත් විය. එවිට නන්ද තම මවගෙන් උත්සවයට ඇඳීම සඳහා සළුවක් ඉල්ලා සිටියේ ය. මව දුන් සළුවට හේ අකමැති විය.
“මට ගොරෝසු නැති සලුවක් දෙන්න” ඔහු කීවේ ය. මව නැවතත් දෙවෙනි සළුවක් දුන්නා ය. ඔහු එයද ප්‍රතික්ෂේප කළේ ය. ප්‍රතික්ෂේප කිරීම මේ ආකාරයෙන් කිහිප වතාවක්ම නැවත නැවතත් කළ විට මව මෙසේ පැවසුවා ය …..

– භද්දකාපිලානි මහ රහත් තෙරණින් වහන්සේගේ ජීවිත කථාව ඇසුරිනි-

'හිත' ගැන ඉගෙනගන්න

'හිත' ගැන ඉගෙනගන්න

උග්ගහ සූත්‍රය

උග්ගහ සූත්‍රය

අංගුත්තර නිකාය - පංචක නිපාතය - සුමනා වර්ගය

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයෙහි ජාතියා වනයෙහි වැඩවසන සේක. එකල්හී මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හෙට දිනයෙහි තමන් වහන්සේ සිව්වෙනි කොට ඇති සේක් මාගේ දානය ඉවසා වදාරණ සේක්වා !”

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඉවසා වදාළ සේක. එකල්හී මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉවසීමෙන් ඇරයුම පිළිගත් බව දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියේ ය.

එකල්හී ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටුතුමාගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එකල්හී මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් ම සැතැප්පුවේ ය. මැනැවින් පැවරුවේ ය. ඉක්බිති මෙණ්ඩක මුනුබුරු උග්ග සිටු තෙමේ දන් වැළඳා ඉවතට ගත් ශ්‍රී හස්තය ඇති භාග්‍යවතුන් වහන්සේ දැක එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මෙණ්ඩක මුනුබුරු උග්ගහ සිටුතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මේ මාගේ දූ කුමරියෝ පතිකුලයට යන්නාහ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෑලාට අවවාද කරන සේක්වා! මේ දියණිවරුන් හට බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෑලාට අනුශාසනා කරන සේක්වා!”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ කුමාරිකාවන් ඇමතූ සේක.

“එසේ නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘යහපත කැමති වූ හිතෛෂී වූ අනුකම්පාවෙන් යුතු වූ ඔබගේ මව්පියවරු අනුකම්පාව උපදවා යම් ස්වාමියෙකුට පෙන්වා ආවාහ කොට දෙත් නම්, ඔහුට පළමු නැගිටින්නෙමු, ඔහුට පසු ව නින්දට යන්නෙමු, තමාගෙන් ඉටු විය යුතු යුතුකම් විමසන්නෙමු, ස්වාමියාගේ සිත සතුටු වන පරිදි හැසිරෙන්නෙමු, ප්‍රිය තෙපුල් පවසන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

එසේ වී නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘ඔබගේ ස්වාමියාගේ ගුරුන් වන මව් වේවා, පියා වේවා, ශ්‍රමණබ්‍රාහ්මණයෝ වෙත්වා ඔවුන්ට ද සත්කාර කරන්නෙමු, ගෞරව කරන්නෙමු, බුහුමන් කරන්නෙමු, පුදන්නෙමු, මුණගැසුණු කල්හී අසුනෙන් පවරන්නෙමු, පා දොවනා දියෙන් පුදන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

එසේ වී නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘ඔබගේ ස්වාමියාගේ නිවසෙහි අභ්‍යන්තර කර්මාන්ත ඇද්ද, එළුලොම් ගෙතීම වේවා, කපු කැටීම වේවා, එහිලා දක්ෂ වන්නෙමු, අනලස් වන්නෙමු, නුවණින් යුතුව කරුණු සොයා බලා කටයුතු කරන්නෙමු, පිළිවෙළකට මැනැවින් කටයුතු කරන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

එසේ වී නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘ඔබගේ ස්වාමියාගේ නිවසෙහි අභ්‍යන්තර ජනයා වෙත් නම්, දාසයින් හෝ දූතයින් හෝ කම්කරුවන් හෝ සිටිත් ද ඔවුන්ගේ කළ දෑ කළ දෑ වශයෙන් දැනගන්නෙමු. නොකළ දෑ නොකළ දෑ වශයෙන් දැනගන්නෙමු. ගිලන් වූ තැනැත්තන්ගේ වැඩට ඇති ශක්තිය ඇති නැති බව දැනගන්නෙමු. ඒ ජනයා හට කෑම් බීම් ආදියෙන් ලද මනා කොටස් මැනැවින් බෙදා දෙන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

එසේ වී නම් කුමාරිකාවෙනි, මේ අයුරින් හික්මිය යුත්තීහු ය. ‘ඔබගේ ස්වාමියා යම් ධනයක් වේවා, ධාන්‍යයක් වේවා, රිදී වේවා, රත්‍රන් වේවා නිවසට ගෙනෙයි නම් ඒවා ආරක්ෂා කොට සුදුසු ලෙස වසා තබා රකින්නෙමු යි, එහිලා සොර සැමියන්, සුරාව, සූදුව ආදියට ධූර්තී නොවන්නෙමු යි, නොසෙර වන්නෙමු යි, සුරා සොඬ ආදී නොවන්නෙමු යි, විනාශ කරන්නියෝ නොවන්නෙමු’ යි මෙසේ කුමාරිකාවෙනි, ඔබ හික්මිය යුත්තීහු ය.

කුමාරිකාවෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ කාන්තාව කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය.

(ගාථා)

යෝ නං භරති සබ්බදා නිච්චං ආතාපි උස්සුකෝ
සබ්බකාමහරං පෝසං භත්තාරං නාති මඤ්ඤේති

යම් ස්වාමියෙක් හැම කල්හි නිතර දැඩි වීර්යයෙන් යුතුව, උත්සාහයෙන් යුතුව ඇය පෝෂණය කරයි ද, සිය බිරිඳ කැමති සියල්ල ලබා දෙන, පෝෂණය කරන, තම ස්වාමියා ව යටකොට ඇය කිසිදා නොසිතන්නී ය.

න චාපි සොත්ථි භත්තාරං ඉච්ඡාචාරේන රෝසයේ
භත්තු ච ගරුනෝ සබ්බේ පටිපූජේති පණ්ඩිතා

ඒ යහපත් ස්ත්‍රිය හිතුවක්කාර හැසිරීමෙන් තම ස්වාමියා කුපිත නොකරන්නී ය. නුවණැති ඕ තම ස්වාමියාගේ ගරු කළ යුතු වැඩිහිටියන් පුදන්නී ය.

උට්ඨාහිකා අනලසා සංගහීතපරිජ්ජනා
භත්තු මනාපා චරති සම්භතං අනුරක්ඛති

හැමට පළමු අවදිවන්නී, කම්මැලි නැත්තී, පරිවාර ජනයා හා එක් ව වසන්නී, තම ස්වාමියාගේ සිත සතුට වඩමින් හැසිරෙන්නී ය. ඕ ඉපැයූ දෑ රකින්නී ය.

යා ඒවං වත්තතී නාරි භත්තුච්ඡන්දවසානුගා
මනාපා නාම තේ දේවා යත්ථ සා උපපජ්ජතී ති

මෙසේ යම් ස්ත්‍රියක් තම ස්වාමියාගේ කැමැත්තට අනුව ගිහි ගෙදර වසන්නී ද, ඕ යම් දෙව්ලොව උපදින්නී නම් ඒ දෙවියෝ මනාපකායිකා හෙවත් නිම්මාණරතී නම් වන්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!

සත්තභරියා සූත්‍රය

සත්තභරියා සූත්‍රය

අංගුත්තර නිකාය - සත්තක නිපාතය - අබ්‍යාකත වර්ගය

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන අනේපිඬු සිටුහුගේ නිවසට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසමයෙහි අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහ හඬින් ඝෝෂා කරමින් සිටිති. එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් අනාථ පිණ්ඩික ගෘහපතියා හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“කිම, ගෘහපතිය, ඔබ නිවසෙහි මිනිස්සු මසුන් මරණ තැනක කෙවුලන් සෙයින් උස් හඬින් මහ හඬින් කුමක් නිසා ඝෝෂා කරන්නහු ද?”

“ස්වාමීනී, මේ සුජාතාවෝ ආඪ්‍ය වූ ආඪ්‍ය කුලයකින් ගෙනෙන ලද්දී කුලදියණිය යි. ඕ නැන්දනියට ද සවන් නොදෙයි. මාමණ්ඩියට ද සවන් නොදෙයි. සැමියාට ද සවන් නොදෙයි. භාග්‍යවතුන් වහන්සේට ද සත්කාර නොකරයි. ගරු නොකරයි. බුහුමන් නොකරයි. නොපුදයි.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සුජාතා කුලදියණිය ඇමතූ සේක.

“සුජාතාවෙනි, මෙහි එව.”

“එසේ ය, ස්වාමීනී” යි සුජාතා කුලදියණිය භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව සිටියා ය. එකත්පස් ව හුන් සුජාතා කුලදියණියට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“සුජාතාවෙනි, පුරුෂයෙකු හට මේ භාර්යාවෝ සත් දෙනෙකි. ඒ කවර සත් දෙනෙක් ද යත්;

වධකියක හා සමාන වූ බිරිඳකි. සෙරක හා සමාන වූ බිරිඳකි. ආර්යාවක හා සමාන වූ බිරිඳකි. මවක හා සමාන වූ බිරිඳකි. සොයුරියක හා සමාන වූ බිරිඳකි. යෙහෙළියක හා සමාන වූ බිරිඳකි. දාසියක හා සමාන වූ බිරිඳකි.

සුජාතාවෙනි, මේ වනාහී පුරුෂයෙකුට සිටින සප්ත භාර්යාවෝ ය. ඔබ මෙයින් කවර තැනැත්තියක් ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ථය විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ථය විස්තර වශයෙන් යම් අයුරකින් දැනගන්නෙම් ද, එසෙයින් භාග්‍යවතුන් වහන්සේ මා හට ධර්ම දේශනා කරන සේක් නම් මැනැවි.”

“එසේ වී නම් සුජාතාවෙනි, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේ ය ස්වාමීනී” යි සුජාතා කුලදියණිය භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

(ගාථා)

පදුට්ඨචිත්තා අහිතානුකම්පිනී
අඤ්ඤේසු රත්තා අතිමඤ්ඤතේ පතිං,
ධනේන කීතස්ස වධාය උස්සුකා,
යා ඒවරූපා පුරිසස්ස භරියා
වධකා ච භරියාති ච සා පවුච්චති

යම් තැනැත්තියක් දුෂ්ට සිත් ඇත්තී, හිතානුකම්පා නැත්තී, අන්‍ය වූ පුරුෂයන් කෙරෙහි ඇලුනී, තම ස්වාමියා ඉක්මවා සිතන්නී ද, ධනයෙන් මිලට ගන්නා ලද්දී, සැමියාට වධ දීම පිණිස උත්සාහ කරන්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය වධකියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

යං ඉත්ථියා වින්දති සාමිකෝ ධනං
සිප්පං වණිජ්ජඤ්ච කසිං අධිට්ඨහං,
අප්පම්පි තස්මා අපහාතුමිච්ඡති,
යා ඒවරූපා පුරිසස්ස භරියා
චෝරී ච භරියාති ච සා පවුච්චති

ස්ත්‍රියකගේ ස්වාමියා ශිල්පයෙන් වේවා, වෙළඳාමෙන් වේවා, ගොවිතැන් කර්මාන්තයකින් වේවා යම් ධනයක් උපයයි ද, ඒ ස්ත්‍රිය ඒ ධනයෙන් ස්වල්පයක් නමුත් සොරකම් කරනු කැමැත්තී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සෙරක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

අකම්මකාමා අලසා මහග්ඝසා
ඵරුසා චණ්ඩී ච දුරුත්තවාදිනී,
උට්ඨායකානං අභිභුය්‍ය වත්තති,
යා ඒවරූපා පුරිසස්ස භරියා
අය්‍යා ච භරියාති ච සා පවුච්චති

යම් තැනැත්තියක් නිවසෙහි වැඩකරන්නට නොකැමැත්තී ද, අලස වූවා ද, බොහෝ කොට අනුභව කරන්නී ද, සැඩ පරුෂ වූවා ද, දරුණු වචන පවසන්නී ද, ස්වාමියාගේ නැගී සිටි වීරියෙන් කළ යුතු කටයුතු මැඩ සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය ආර්යාවක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

යා සබ්බදා හෝති හිතානුකම්පිනී
මාතාව පුත්තං අනුරක්ඛතේ පතිං,
තතෝ ධනං සම්භතමස්ස රක්ඛති,
යා ඒවරූපා පුරිසස්ස භරියා
මාතා ච භරියාති ච සා පවුච්චති

යම් තැනැත්තියක් හැම කල්හී සිය සැමියාට හිතානුකම්පා ඇත්තී ද, මවක් දරුවෙකු රකින සෙයින් සැමියා රකින්නී ද, ඔහු විසින් උපයන ධනය ත් රකින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය මවක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

යථාපි ජෙට්ඨේ භගිනී කනිට්ඨා
සගාරවා හෝති සකම්හි සාමිකේ,
හිරීමනා භත්තුවසානුවත්තීනී,
යා ඒවරූපා පුරිසස්ස භරියා
භගිනී ච භරියාති ච සා පවුච්චති

යම් තැනැත්තියක් වැඩිමහල් සොයුරා කෙරෙහි බාල නැගණිය යම් සේ පවත්නී ද, එසෙයින් සිය ස්වාමියා කෙරෙහි ගෞරව ඇත්තී, ලැජ්ජා සිත් ඇත්තී, ස්වාමියාගේ වසඟයෙහි සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සොයුරියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

යා චීධ දිස්වාන පතිං පමෝදති
සඛී සඛාරංව චිරස්සමාගතං,
කෝලෙය්‍යකා සීලවතී පතිබ්බතා,
යා ඒව රූපා පුරිසස්ස භරියා
සඛී ච භරියාති ච සා පවුච්චති

යම් තැනැත්තියක් මෙහි බොහෝ කලකින් තමන්ට මුණ ගැසුණු යහළුවකු දැක සතුටු වන යෙහෙළියක සෙයින් සිය සැමියා දැක සතුටු වන්නී ද, කුලයෙහි වසන සිල්වත් ව, මනා පිළිවෙත් ඇති ව සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය යෙහෙළියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

අක්කුද්ධසන්තා වධදණ්ජතජ්ජිනා
අදුට්ඨචිත්තා පතිනෝ තිතික්ඛති,
අක්කෝධනා භත්තුවසානුවත්තීනී,
යා ඒවරූපා පුරිසස්ස භරියා
දාසී ච භරියාති ච සා පවුච්චති

ස්වාමියා විසින් දඬු මුගුරු ගෙන පහර දී තර්ජනය කරන ලද්දී නමුත් නොකිපෙන්නී, දුෂ්ට සිත් නැත්තී, සැමියාගේ වරද ඉවසන්නී ද, නොකිපෙන්නී, සැමියාගේ වසඟයෙහි සිටින්නී ද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය දාසියක හා සමාන බිරිඳක් යැයි කියනු ලබන්නී ය.

යා චීධ භරියා වධකාති වුච්චති
චෝරී ච අය්‍යාති ච යා පවුච්චති,
දුස්සීලරූපා ඵරුසා අනාදරා
කායස්ස භේදා නිරයං වජන්තී තා

මෙහිලා යම් බිරිඳක් වධකියක් යැයි කියනු ලබන්නී ද, සෙරක් යැයි, ආර්යාවක් යැයි කියනු ලබන්නී ද, දුස්සීල ගති ඇති, ඵරුෂ වූ, ආදර රහිත වූ ඒ බිරින්දෑවරු මරණින් මතු නිරයෙහි උපදිති.

යා චීධ මාතා භගිනී සඛී ච
දාසී ච භරියාති ච යා පවුච්චති,
සීලේ ඨිතත්තා චිරරත්තසංවුතා
කායස්ස භේදා සුගතිං වජන්ති තා

මෙහිලා යම් බිරිඳක් මවක් යැයි, සොයුරියක් යැයි, යෙහෙළියක් යැයි, දාසියක් යැයි කියනු ලබන්නී ද, සීලයෙහි පිහිටි, බොහෝ කල් සංවර ව වාසය කරන ඒ බිරින්දෑවරු මරණින් මතු සුගතියෙහි උපදිති.

සුජාතාවෙනි, මේ වනාහී පුරුෂයෙකුට සිටින සප්ත භාර්යාවෝ ය. ඔවුන් අතුරින් ඔබ කවරී ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම අද පටන් ස්වාමියාගේ දාසියක හා සම වූ බිරිඳ වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

මාතුගාම සංයුත්තය

අනුරුද්ධ වර්ගය

(අනුරුද්ධ තෙරුන්ට වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළා.

ස්වාමීනී, මෙහි මං මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් ස්ත්‍රියක් දැක්කා. ඈ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපන්නා. ස්වාමීනී, කොතෙක් කරුණු වලින් සමන්විත වූ ස්ත්‍රිය ද කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදින්නේ?

පින්වත් අනුරුද්ධ, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. ක්‍රෝධ කරන්නේ නෑ. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් අනුරුද්ධ, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(ක්‍රෝධ නොකරන ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. ක්‍රෝධ කරන්නේ නෑ. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(ඊර්ෂ්‍යා නොකරන ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. ඊර්ෂ්‍යා කරන්නේ නෑ. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(මසුරුකමින් නොසිටින ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. මසුරුකමින් ඉන්නේ නෑ. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(සැමියා ඉක්මවා හොර සැමියන් කරා නොයන ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. සැමියා ඉක්මවා හොර සැමියන් කරා යන්නේ නෑ. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(සිල්වත් ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. සිල්වත්ව වාසය කරනවා. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(දහම් දැනුමෙන් යුතු ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. දහම් දැනුමෙන් යුතුව ඉන්නවා. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(පටන්ගත් වීරිය ඇති ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. පටන්ගත් වීරියෙන් යුතුව ඉන්නවා. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(සිහිය පිහිටුවාගෙන සිටින ස්ත්‍රිය ගැන වදාළ දෙසුම )
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(පන්සිල් රකින ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? සතුන් මැරීමෙන් වෙන් වී සිටිනවා. සොරකම් කිරීමෙන් වෙන් වී සිටිනවා. වැරදිකාම සේවනයේ යෙදීමෙන් වෙන් වී සිටිනවා. බොරු කීමෙන් වෙන් වී සිටිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වෙන් වී සිටිනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.


(බද්ධ වෛර නැති ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | අනුරුද්ධ වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. වෛර බඳින්නේ නෑ. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.

මාතුගාම සංයුත්තය | බල වර්ගය

මාතුගාම සංයුත්තය

බල වර්ගය

(පිරිසිදු ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය.

(විශාරද ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය. පින්වත් මහණෙනි, මේ බල පහෙන් සමන්විත ස්ත්‍රිය විශාරද තැනැත්තියක් වශයෙන් ගෙදර වාසය කරනවා.
(සැමියාව පාලනය කරන ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය. පින්වත් මහණෙනි, මේ බල පහෙන් සමන්විත ස්ත්‍රිය තම සැමියාව පාලනය කරන තැනැත්තියක් වශයෙන් ගෙදර වාසය කරනවා.
(සැමියාව මැඬගෙන සිටින ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය. පින්වත් මහණෙනි, මේ බල පහෙන් සමන්විත ස්ත්‍රිය තම සැමියාව මැඬගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, මේ එක බලයකින් සමන්විත වූ පුරුෂයා ස්ත්‍රියව යටත් කොට ගෙන සිටිනවා. කවර එකකින් ද යත්? ඉසුරු බලයෙන් ය.

පින්වත් මහණෙනි, ඉසුරු බලයෙන් යටපත් කරන ලද ස්ත්‍රිය රූප බලයෙන් රැකෙන්නේ නෑ. භෝග බලයෙන් රැකෙන්නේ නෑ. ඤාති බලයෙන් රැකෙන්නේ නෑ. පුත්‍ර බලයෙන් රැකෙන්නේ නෑ. සීල බලයෙන් රැකෙන්නේ නෑ.

(කොටස ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය.

පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු ස්ත්‍රිය භෝග සම්පත් බලයෙන් තොර නම්, මෙසේ ඇය ඒ කොටසින් අපරිපූර්ණයි.

පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත් ඒ වගේම භෝග බලයෙනුත් සමන්විත වෙනවා. එතකොට ඈ ඒ කොටසින් සම්පූර්ණ වෙනවා.

පින්වත් මහණෙනි, ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත් සමන්විත නමුත් ඤාති බලයෙන් යුක්ත නෑ. මෙසේ ඈ ඒ කොටසින් අපරිපූර්ණ වෙනවා.

පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත් ඒ වගේම ඤාති බලයෙනුත් සමන්විත වෙනවා. එතකොට ඈ ඒ කොටසින් සම්පූර්ණ වෙනවා.

පින්වත් මහණෙනි, ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත් ඤාති බලයෙනුත් සමන්විත නමුත් පුත්‍ර බලයෙන් යුක්ත නෑ. මෙසේ ඈ ඒ කොටසින් අපරිපූර්ණ වෙනවා.

පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත්, ඤාති බලයෙනුත් ඒ වගේම පුත්‍ර බලයෙනුත් සමන්විත වෙනවා. එතකොට ඈ ඒ කොටසින් සම්පූර්ණ වෙනවා.

පින්වත් මහණෙනි, ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත්, ඤාති බලයෙනුත්, පුත්‍ර බලයෙනුත් සමන්විත නමුත් සීල බලයෙන් යුක්ත නෑ. මෙසේ ඈ ඒ කොටසින් අපරිපූර්ණ වෙනවා.

පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත්, ඤාති බලයෙනුත්, පුත්‍ර බලයෙනුත් ඒ වගේම සීල බලයෙනුත් සමන්විත වෙනවා. එතකොට ඈ ඒ කොටසින් සම්පූර්ණ වෙනවා.

පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය.
(නැසිය යුතු ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය.

පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු ස්ත්‍රිය සීල බලයෙන් තොර නම්, ඇය වනසනවා ම යි. පතිකුලයෙහි ඈ වසවන්නේ නෑ.

පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු, භෝග බලයෙන් යුතු නමුත් ස්ත්‍රිය සීල බලයෙන් තොර නම්, ඇය වනසනවා ම යි. පතිකුලයෙහි ඈ වසවන්නේ නෑ.

පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු, භෝග බලයෙන් යුතු, ඤාති බලයෙන් යුතු නමුත් ස්ත්‍රිය සීල බලයෙන් තොර නම්, ඇය වනසනවා ම යි. පතිකුලයෙහි ඈ වසවන්නේ නෑ.

පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු, භෝග බලයෙන් යුතු, ඤාති බලයෙන් යුතු, පුත්‍ර බලයෙන් යුතු නමුත් ස්ත්‍රිය සීල බලයෙන් තොර නම්, ඇය වනසනවා ම යි. පතිකුලයෙහි ඈ වසවන්නේ නෑ.

පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත්, ඤාති බලයෙනුත්, පුත්‍ර බලයෙනුත්, සීල බලයෙනුත්, සමන්විත වෙනවා නම්, ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ.

පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය රූප බලයෙන් තොර නමුත් ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ.

පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය භෝග බලයෙන් තොර නමුත් ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ.

පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය ඤාති බලයෙන් තොර නමුත් ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ.

පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය පුත්‍ර බලයෙන් තොර නමුත් ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය.
(හේතු ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය.

පින්වත් මහණෙනි, ස්ත්‍රිය රූප බලය නිසාවත්, භෝග බලය නිසාවත්, ඤාති බලය නිසාවත්, පුත්‍ර බලය නිසාවත් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි උපදින්නේ නෑ.

පින්වත් මහණෙනි, ස්ත්‍රිය සීල බලය නිසා ම යි කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි උපදින්නේ.

පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය.
(තැන් ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, පින් කරගත්තු නැති ස්ත්‍රියක විසින් ලබන්ට දුර්ලභ වූ මේ කරුණු පහක් තියෙනවා. කවර පහක් ද යත්? පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක උපතක් ලබන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්‍රියක විසින් ලබන්නට දුර්ලභ වූ පළමු වැන්නයි.

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට යන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්‍රියක විසින් ලබන්නට දුර්ලභ වූ දෙවැන්නයි.

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින් සමාන බිරිඳන් නැති ගෙදරක, වාසය කරන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්‍රියක විසින් ලබන්නට දුර්ලභ වූ තුන් වැන්නයි.

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින් සමාන බිරිඳන් නැති ගෙදරක, වාසය කරමින් දරුවන් ඇති තැනැත්තියක් වන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්‍රියක විසින් ලබන්නට දුර්ලභ වූ සිව් වැන්නයි.

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින්, සමාන බිරිඳන් නැති ගෙදරක, වාසය කරමින් දරුවන් ඇති තැනැත්තියක්ව සිටිමින් සැමියාව ද කීකරු කරගෙන වසන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්‍රියක විසින් ලබන්නට දුර්ලභ වූ පස් වැන්නයි.

පින්වත් මහණෙනි, මේවා තමයි පින් කරගත්තු නැති ස්ත්‍රියක විසින් ලබන්නට දුර්ලභ වූ මේ කරුණු පහ.

පින්වත් මහණෙනි, පින් කරගත්තු ස්ත්‍රියක විසින් පහසුවෙන් ලබන මේ කරුණු පහක් තියෙනවා. කවර පහක් ද යත්?

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක උපතක් ලබන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්‍රියක විසින් පහසුවෙන් ලබන පළමු වැන්නයි.

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට යන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්‍රියක විසින් පහසුවෙන් ලබන දෙවැන්නයි.

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින් සමාන බිරිඳන් නැති ගෙදරක, වාසය කරන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්‍රියක විසින් පහසුවෙන් ලබන තුන් වැන්නයි.

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින්, සමාන බිරිඳන් නැති ගෙදරක වාසය කරමින්, දරුවන් ඇති තැනැත්තියක් වන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්‍රියක විසින් පහසුවෙන් ලබන සිව් වැන්නයි.

පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින්, සමාන බිරිඳන් නැති ගෙදරක වාසය කරමින්, දරුවන් ඇති තැනැත්තියක්ව සිටිමින්, සැමියාව ද කීකරු කරගෙන වසන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්‍රියක විසින් පහසුවෙන් ලබන පස් වැන්නයි.

පින්වත් මහණෙනි, මේවා තමයි පින් කරගත්තු ස්ත්‍රිය විසින් පහසුවෙන් ලබන කරුණු පහ.
(විශාරදව වාසය කිරීම ගැන වදාළ දෙසුම )
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය විශාරදව ගෙදර වාසය කරයි. කවර කරුණු පහකින් ද යත්? ඇය සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. සොරකමින් වැළකී සිටිනවා. වැරදිකාම සේවනයෙන් වැළකී සිටිනවා. බොරු කීමෙන් වැළකී සිටිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය විශාරදව ගෙදර වාසය කරනවා.
(වඩ්ඪී සුත්තං)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | බල වර්ගය

පින්වත් මහණෙනි, දියුණු වන කරුණු පහකින් දියුණු වන්නා වූ ආර්ය ශ්‍රාවිකාව ආර්ය ගුණයෙනුත් දියුණු වෙනවා. කයෙන් හරවත් දේ ම ගන්නා තැනැත්තියක් වෙනවා. උතුම් දේ ම ගන්නා තැනැත්තියක් වෙනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවෙන් දියුණු වෙනවා. සීලයෙන් දියුණු වෙනවා. දහම් දැනුමෙන් දියුණු වෙනවා. ත්‍යාගයෙන් දියුණු වෙනවා. ප්‍රඥාවෙන් දියුණු වෙනවා. පින්වත් මහණෙනි, මේ දියුණු වන කරුණු පහෙන් දියුණු වන්නා වූ ආර්ය ශ්‍රාවිකාව ආර්ය ගුණයෙනුත් දියුණු වෙනවා. කයෙන් හරවත් දේ ම ගන්නා තැනැත්තියක් වෙනවා. උතුම් දේ ම ගන්නා තැනැත්තියක් වෙනවා.

(ගාථාවකි)
සද්ධාය සීලේන ච යාධ වඩ්ඪති
පඤ්ඤාය චාගේන සුතේන චූභයං
සා තාදිසී සීලවතී උපාසිකා
ආදියති සාරං ඉධේව අත්තනෝති

ශ්‍රද්ධාවෙනුත්, සීලයෙනුත්, ප්‍රඥාවෙනුත්, ත්‍යාගයෙනුත්, ශ්‍රැතයෙනුත් යම් ස්ත්‍රියක් මෙලොව දියුණු වෙනවා නම්, එබඳු සිල්වත් උපාසිකාව මේ ලෝකයේ දී තමාගෙන් ගතයුතු හරවත් දෑ ගන්නවා.

භික්ඛුනී සංයුත්තය

මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

මාතුගාම සංයුත්තය

මාතුගාම වර්ගය

(ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, අංග පහකින් සමන්විත වූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් ම අමනාපය ඇති කරවනවා. කවර පහකින්ද යත්? ඈ රූපවත් නෑ. භෝග සම්පත් නෑ. සිල්වත් නෑ. අලසයි. පුරුෂයා නිසා දරුවන් ලබන්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය ඒකාන්තයෙන් ම පුරුෂයාට අමනාපය ඇති කරවනවා.

පින්වත් මහණෙනි, අංග පහකින් සමන්විත වූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් ම මනාපය ඇති කරවනවා. කවර පහකින්ද යත්? ඈ රූපවත්. භෝග සම්පත් තියෙනවා. සිල්වත්ව ඉන්නවා. දක්‍ෂයි, අලස නෑ. පුරුෂයා නිසා දරුවන් ලබනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය ඒකාන්තයෙන් ම පුරුෂයාට මනාපය ඇති කරවනවා.
(පුරුෂයා ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, අංග පහකින් සමන්විත වූ පුරුෂයා ඒකාන්තයෙන් ම ස්ත්‍රියට අමනාපය ඇති කරවනවා. කවර පහකින්ද යත්? ඔහු රූපවත් නෑ. භෝග සම්පත් නෑ. සිල්වත් නෑ. අලසයි. ඔහු නිසා දරුවන් ලබන්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ පුරුෂයා ඒකාන්තයෙන් ම ස්ත්‍රියට අමනාපය ඇති කරවනවා.

පින්වත් මහණෙනි, අංග පහකින් සමන්විත වූ පුරුෂයා ඒකාන්තයෙන් ම ස්ත්‍රියට මනාපය ඇති කරවනවා. කවර පහකින්ද යත්? ඔහු රූපවත්. භෝග සම්පත් තියෙනවා. සිල්වත්ව ඉන්නවා. දක්‍ෂයි, අලස නෑ. ඔහු නිසා දරුවන් ලබනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ පුරුෂයා ඒකාන්තයෙන් ම ස්ත්‍රියට මනාපය ඇති කරවනවා.
(ස්ත්‍රියට ආවේණික වූ දුක ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ දුක් පහක් තියෙනවා. කවර දුක් පහක් ද යත්?

පින්වත් මහණෙනි, මෙහිලා ස්ත්‍රිය තරුණ කාලයේදී ම ස්වාමියාගේ ගෙදරට යනවා. නෑදෑයින්ගෙන් වෙන් වෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ පළමු දුක මෙය යි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ඔසප් වෙයි. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ දෙවෙනි දුක මෙයයි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ගැබ් ගන්නවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ තුන්වෙනි දුක මෙයයි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය දරුවන් වදනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ සිව්වෙනි දුක මෙයයි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය පුරුෂයාගේ උපස්ථානයට එළඹෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ පස්වෙනි දුක මෙයයි.

පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ දුක් පහ මෙයයි.
(කරුණු තුනකින් යුතු ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු තුනකින් සමන්විත වූ ස්ත්‍රිය බොහෝ සෙයින් ම කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු තුනකින්ද යත්? පින්වත් මහණෙනි, මෙහිලා ස්ත්‍රිය

උදේ වරුවේ මසුරුමලයෙන් (තමා සතු දෙයක් තව කෙනෙක් පරිභෝග කොට සැප විඳිනවාට ඇති අකමැත්ත මසුරුකමයි. එයින් වැසී ගිය සිතක් ඇති විට මසුරුමල (මලකඩ) නම් වේ) යට වූ සිතින් යුතුව ගෙදර වසයි.
දහවල් කාලයෙහි ඊර්ෂ්‍යාවෙන් යට වූ සිතින් යුතුව ගෙදර වසයි.
රාත්‍රී කාලයෙහි කාමරාගයෙන් යට වූ සිතින් යුතුව ගෙදර වසයි. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් සමන්විත වූ ස්ත්‍රිය බොහෝ සෙයින් ම කය බිඳී මරණින් අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.

(අනුරුද්ධ තෙරුන්ට වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළා.

ස්වාමීනී, මෙහි මං මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් ස්ත්‍රියක් දැක්කා. ඈ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපන්නා. ස්වාමීනී, කොතෙක් කරුණු වලින් සමන්විත වූ ස්ත්‍රියද කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදින්නේ?

පින්වත් අනුරුද්ධ, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. ක්‍රෝධ කරනවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් අනුරුද්ධ, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(ක්‍රෝධ කරන ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. ක්‍රෝධ කරනවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(වෛර බඳින ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. වෛර බඳිනවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(ඊර්ෂ්‍යාකාර ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(මසුරුකමින් සිටින ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. මසුරුකමින් ඉන්නවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(සැමියා ඉක්මවා හොර සැමියන් කරා යන ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. සැමියා ඉක්මවා හොර සැමියන් කරා යනවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(දුස්සීල ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. දුස්සීලව වාසය කරනවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(දහම් දැනුමෙන් තොර ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. දහම් දැනුමෙන් තොරව ඉන්නවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(කම්මැලි ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. කම්මැලිකමින් ඉන්නවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(සිහි මුළා වී සිටින ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. සිහි මුළාවෙන් ඉන්නවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
(වෛරය ඇති කරවන කරුණු පහෙන් යුතු ස්ත්‍රිය ගැන වදාළ දෙසුම)
සංයුත්ත නිකාය | සළායතන වර්ගය | මාතුගාම සංයුත්තය | මාතුගාම වර්ගය

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? සතුන් මැරීමෙන් යුක්ත වෙනවා. සොරකම් කරන්නියක් වෙනවා. වැරදිකාම සේවනයේ හැසිරෙන්නියක් වෙනවා. බොරු කියන්නියක් වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නියක් වෙනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.

නකුලපිතූ සූත්‍රය

නකුලපිතූ සූත්‍රය

අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - සාරාණීය වර්ගය

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි නකුලපිතු ගෘහපති ත් රෝගී වූයේ, දුකට පත් වූයේ, දැඩි ලෙස ගිලන් වූයේ වෙයි. එකල්හී නකුලමාතා ගෘහපතිනිය නකුලපිතු ගෘහපතියාට මෙය පැවසුවා ය.

1. “ගෘහපතිය, අප ගැන අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කරන්නට, ගෙදර කටයුතු කරන්නට, නොහැකිවන්නී ය යනුවෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, මම කපු කටින්නට, එළු ලොම් වෙළුම් නෙළන්නට දක්ෂ වෙමි. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කරන්නට ත්, ගෙදර කටයුතු කරන්නට ත් හැක්කී වෙමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

2. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් අන්‍ය වූ සැමියෙකු කරා යන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, යම් කලක අප විසින් සොළොස් වසක් පුරා ගෘහස්ථ බ්‍රහ්මචරිය සිල් සමාදන් වූයේ ද, එය ඔබ ද දන්නෙහි ය. මම ද දනිමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

3. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමති නොවන්නී ය. භික්ෂු සංඝයා දකින්නට කැමති නොවන්නීය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් මම වඩ වඩා ත් භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමැත්තී වෙමි. වඩ වඩා ත් භික්ෂු සංඝයා දකින්නට කැමැත්තී වෙමි. එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

4. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මාගේ ඇවෑමෙන් සිල් පිරිපුන් නොකරන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳින සිල් පිරිපුන් කරන්නියෝ යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

5. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය තම සිතෙහි සංසිඳීමක් නොලබන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳින ආධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන්නියෝ යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.

6. ගෘහපතිය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නකුලමාතා ගෘහපතිනිය මේ ධර්ම විනය තුළ ස්ථිර පිහිටකට නොපැමිණියා ය. ගැඹුරු අවබෝධයට නොපැමිණියා ය. සැනසුමට නොපැමිණියා ය. විචිකිච්ඡාවෙන් එතෙර නොවුණා ය. කෙසේ ද කෙසේ ද යන සැකය දුරු නොකළා ය. විශාරද බවට පත් නොවුණා ය. ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට නොපැමිණ වසන්නී ය වශයෙනි. ගෘහපතිය, එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සුදු වත් හඳින ගිහි ශ්‍රාවිකාවෝ මේ ධර්ම විනයෙහි ස්ථිර පිහිටකට පැමිණියාහු ද, ගැඹුරු අවබෝධයකට පැමිණියාහු ද, සැනසුමට පැමිණියාහු ද, සැකයෙන් එතෙර වූවාහු ද, කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළාහු ද, විශාරද බවට පත්වූවාහු ද, ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නාහු යම්තාක් සිටින්නී ද, මම් ද ඔවුන් අතර එකියක් වෙමි. යමෙකු හට මෙය පිළිබඳ ව සැකයක් හෝ වේවා විමතියක් හෝ වේවා ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකල භග්ග ජනපදයෙහි සුංසුමාර ගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්වා! එහෙයින් ගෘහපතිය, අපේක්ෂාවෙන් මැරෙන්නට එපා! ගෘහපතිය, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකකි. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද ගරහන ලද්දේ ය.”

ඉක්බිති නකුලමාතා ගෘහපතිනිය විසින් මේ අවවාදයෙන් අවවාද කරනු ලබන කල්හී නකුලපිතු ගෘහපතියාගේ ඒ ආබාධය සැණෙකින් සංසිඳී ගියේ ය. නකුලපිතු ගෘහපති තෙමේ ඒ ආබාධයෙන් නැගිට්ටේ ය. නකුලපිතු ගෘහපතියාගේ ඒ ආබාධය ඒ අයුරින් ම ප්‍රහාණයට පත්වූයේ ය.

එකල්හී නකුලපිතු ගෘහපති තෙමේ ගිලන්බවින් නැගී සිටියේ, ගිලන් බවින් නැගිට සුළු කලකින් සැරයටියක ආධාරයෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් නකුලපිතු ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, ඔබට ලාභයකි. ගෘහපතිය, ඔබට මනා වූ ලැබීමකි. යම්බඳු වූ ඔබට නකුලමාතා ගෘහපතිනිය අනුකම්පා ඇත්තී ය. යහපත කැමැත්තී ය. අවවාද දෙන්නී ය. අනුශාසනා කරන්නී ය.

ගෘහපතිය, මාගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳිනා සිල් පිරිපුන් කරන්නියෝ යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි. ගෘහපතිය, මාගේ ගිහි ශ්‍රාවිකා වූ සුදු වත් හඳිනා තමා තුළ චිත්ත සමථය ලබන්නියෝ යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි. ගෘහපතිය, සුදු වත් හඳින මාගේ ගිහි ශ්‍රාවිකාවෝ මේ ධර්ම විනයෙහි ස්ථිර පිහිටකට පැමිණියාහු ද, ගැඹුරු අවබෝධයකට පැමිණියාහු ද, සැනසුමට පැමිණියාහු ද, සැකයෙන් එතෙර වූවාහු ද, කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළාහු ද, විශාරද බවට පත්වූවාහු ද, ශාස්තෘ ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නාහු යම්තාක් සිටිත් ද, නකුලමාතා ගෘහපතිනිය ඔවුන් අතර එකියකි.

ගෘහපතිය, ඔබට ලාභයකි. ගෘහපතිය, ඔබට මනා වූ ලැබීමකි. යම්බඳු වූ ඔබට නකුලමාතා ගෘහපතිනිය අනුකම්පා ඇත්තී ය. යහපත කැමැත්තී ය. අවවාද දෙන්නී ය. අනුශාසනා කරන්නී ය.

සාදු! සාදු!! සාදු!!!

මල්ලිකා සූත්‍රය

මල්ලිකා සූත්‍රය

අංගුත්තර නිකාය - චතුක්ක නිපාතය - මහාවර්ගය

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තා ය. එකත්පස් ව හුන් මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් අවලක්ෂණ වෙයි ද, විරූපිනී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ඇත්තී වෙයි ද, අල්ප භෝග ඇත්තී වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතු කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් අවලක්ෂණ වෙයි ද, විරූපිනී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, ආඪ්‍ය වෙයි ද, මහා ධනය ඇත්තී වෙයි ද, මහා භෝග ඇත්තී වෙයි ද, මහේශාක්‍ය වෙයි ද එයට හේතු කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් අභිරූපවත් වෙයි ද, දර්ශනීය වෙයි ද, දුටුවන් පහදන්නී වෙයි ද, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි ද, එනමුත් දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ඇත්තී වෙයි ද, අල්ප භෝග ඇත්තී වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතු කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් අභිරූපවත් වෙයි ද, දර්ශනීය වෙයි ද, දුටුවන් පහදන්නී වෙයි ද, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි ද, ආඪ්‍ය වෙයි ද, මහා ධනය ඇත්තී වෙයි ද, මහා භෝග ඇත්තී වෙයි ද, මහේශාක්‍ය වෙයි ද එයට හේතු කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?”

“මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ ඇත්තී වෙයි. බොහෝ සෙයින් කිපෙන සුළු වෙයි. සුළු දෙයක් පැවසුව ද ගැටෙයි. කිපෙයි. තරහා ගනියි. දැඩිවෙයි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ කරයි. එමෙන් ම ඇය ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය නොදෙන්නී වෙයි. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිත් ඇත්තී වෙයි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. ද්වේෂ කරයි. ඊර්ෂ්‍යාව බැඳ ගනියි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද, අවලක්ෂණ වෙයි. විරූපී වෙයි. දැකීමට අප්‍රසන්න වෙයි. දිළිඳු වෙයි. අල්ප ධාන්‍ය ඇත්තී, අල්ප භෝග ඇත්තී, අල්පේශාක්‍ය වෙයි.

මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ ඇත්තී වෙයි. බොහෝ සෙයින් කිපෙන සුළු වෙයි. සුළු දෙයක් පැවසුව ද ගැටෙයි. කිපෙයි. තරහා ගනියි. දැඩිවෙයි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ කරයි. එහෙත් ඇය ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය දෙන්නී වෙයි. ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇත්තී වෙයි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකරයි. ද්වේෂ නොකරයි. ඊර්ෂ්‍යාව නොබැඳ ගනියි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද, අවලක්ෂණ වෙයි. විරූපී වෙයි. දැකීමට අප්‍රසන්න වෙයි. ආඪ්‍ය වෙයි. මහා ධනය ඇත්තී වෙයි. මහා භෝග ඇත්තී වෙයි. මහේශාක්‍ය වෙයි.

මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නැත්තී වෙයි. බොහෝ සෙයින් නොකිපෙන සුළු වෙයි. බොහෝ දෙයක් පැවසුව ද නොගැටෙයි. නොකිපෙයි. තරහා නොගනියි. දැඩි නොවෙයි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ නොකරයි. එහෙත් ඇය ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය නොදෙන්නී වෙයි. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිත් ඇත්තී වෙයි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. ද්වේෂ කරයි. ඊර්ෂ්‍යාව බැඳ ගනියි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද, අභිරූපවත් වෙයි. දර්ශනීය වෙයි. දුටුවන් පහදන්නී වෙයි. උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි. දිළිඳු වෙයි. අල්ප ධාන්‍ය ඇත්තී, අල්ප භෝග ඇත්තී, අල්පේශාක්‍ය වෙයි.

මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නැත්තී වෙයි. බොහෝ සෙයින් නොකිපෙන සුළු වෙයි. බොහෝ දෙයක් පැවසුව ද නොගැටෙයි. නොකිපෙයි. තරහා නොගනියි. දැඩි නොවෙයි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ නොකරයි. එමෙන් ම ඇය ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය දෙන්නී වෙයි. ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇත්තී වෙයි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකරයි. ද්වේෂ නොකරයි. ඊර්ෂ්‍යාව නොබැඳ ගනියි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද, අභිරූපවත් වෙයි. දර්ශනීය වෙයි. දුටුවන් පහදන්නී වෙයි. උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි. ආඪ්‍ය වෙයි. මහා ධනය ඇත්තී වෙයි. මහා භෝග ඇත්තී වෙයි. මහේශාක්‍ය වෙයි.

මල්ලිකාවෙනි, යම් හෙයකින් ඇතැම් ස්ත්‍රියක් අවලක්ෂණ වෙයි ද, විරූපිනී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ඇත්තී වෙයි ද, අල්ප භෝග ඇත්තී වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි.

මල්ලිකාවෙනි, යම් හෙයකින් ඇතැම් ස්ත්‍රියක් අවලක්ෂණ වෙයි ද, විරූපිනී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, එනමුත් ආඪ්‍ය වෙයි ද, මහා ධනය ඇත්තී වෙයි ද, මහා භෝග ඇත්තී වෙයි ද, මහේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි.

මල්ලිකාවෙනි, යම් හෙයකින් ඇතැම් ස්ත්‍රියක් අභිරූපවත් වෙයි ද, දර්ශනීය වෙයි ද, දුටුවන් පහදන්නී වෙයි ද, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි ද, එනමුත් දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ඇත්තී වෙයි ද, අල්ප භෝග ඇත්තී වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි.

මල්ලිකාවෙනි, යම් හෙයකින් ඇතැම් ස්ත්‍රියක් අභිරූපවත් වෙයි ද, දර්ශනීය වෙයි ද, දුටුවන් පහදන්නී වෙයි ද, උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි ද, ආඪ්‍ය වෙයි ද, මහා ධනය ඇත්තී වෙයි ද, මහා භෝග ඇත්තී වෙයි ද, මහේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි”

මෙසේ වදාළ කල්හී මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, යම් බඳු මම් වෙනත් ජාතියක දී ක්‍රෝධ සිත් ඇත්තී ව සිටියෙම් ද, බොහෝ සෙයින් කිපුණෙම් ද, සුළු දෙයක් පැවසුව ද ගැටුනී වෙම් ද, කිපුනී වෙම් ද, තරහා ගත්තී වෙම් ද, දැඩි සිත් ඇත්තී වෙම් ද, කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ කළා වෙම් ද, ස්වාමීනී, ඒ මම මේ ආත්මයෙහි අවලස්සන ය. විරූපී ය. දැකුමට ප්‍රසන්න නොවන්නී ය.

ස්වාමීනී, වෙනත් ජාතියක දී ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය දුන්නී වෙමි. ස්වාමීනී, ඒ මම් මේ ආත්මයෙහිදී ආඪ්‍ය වූ ත්, මහා ධන ඇත්තී වූ ත්, මහා භෝග ඇත්තී වෙමි.

ස්වාමීනී, මම වෙනත් ජාතියක දී ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇත්තී ව සිටියෙමි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකළෙමි. ද්වේෂ නොකළෙමි. ඊර්ෂ්‍යාව නොබැඳ ගතිමි.

ස්වාමීනී, ඒ මම මේ ජීවිතයේ දී මහේශාක්‍ය වෙමි. ස්වාමීනී, මේ රාජ කුලයෙහි ක්ෂත්‍රිය කන්‍යාවෝ ත්, බ්‍රාහ්මණ කන්‍යාවෝ ත්, ගෘහපති කන්‍යාවෝ ත් සිටිති. ඔවුන් සැමට වඩා මම ඉසුරුමත් බවින්, අධිපති බවින් කටයුතු කරවමි.

ස්වාමීනී, ඒ මම අද පටන් ක්‍රෝධ නැත්තී වන්නෙමි. බොහෝ සෙයින් නොකිපෙන සුළු නොවන්නෙමි. බොහෝ දෙයක් පැවසුව ද නොගැටෙන්නෙමි. නොකිපෙන්නෙමි. තරහා නොගන්නෙමි. දැඩි නොවන්නෙමි. කෝපය ත්, ද්වේෂයත් නොසතුට ත් පහළ නොකරන්නෙමි. එමෙන් ම ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් ආදිය දෙන්නී වෙමි. ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇත්තී වෙමි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා නොකරමි. ද්වේෂ නොකරමි. ඊර්ෂ්‍යාව නොබැඳ ගනිමි.

ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසිකාවක වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා !”

සාදු! සාදු!! සාදු!!!

දිවිය එකළුකරන සම්බුද්ධ භාෂිතය | ධර්මාවවාද

ඒතදග්ග පාළි | උපාසිකාවන් පිළිබඳ කොටස

ඒතදග්ග පාළි | භික්ෂුණී සංඝයා පිළිබඳ කොටස

ධම්ම පදය

Scroll to Top
Share via
Copy link